බුදුන් ඉගැන්වූ හැටි

3-lord-buddha-chitra-singhතිලෝගුරු බුදු රජාණන් වහන්සේ ස්වකීය ධර්මඥානය සෙසු ලෝකයා වෙත සන්නිවේදනය කිරීමෙහිදී ගුරුවරයකු වශයෙන් අනුගමනය කළ ක්‍රමවේදයන් සිහිපත් කර දෙන මේ ලේඛකයා ඒවායෙහි අකාලික භාවය අවධාරණය කරයි.

ඉගැන්වීම ගෞරවනීය සේවාවකි. ඉගැන්වීමෙහි යෙදෙන්නා ගුරුතුමා, ගුරුතුමිය, ගුරු පියාණන්, ගුරු මෑණියන්, ගුරු දේවයාණන් යනාදි වශයෙන් ගෞරවාර්ථයෙන් අමතනු ලබන්නේ එහෙයිනි. එසේ බලන කල සිසු-සිසුවියන්ට සිය ගුරුවරයාත්, ගුරුවරියත් මවක-පියකු තරමට පූජාර්හය.

බුදුන් වහන්සේ තිලෝගුරු වෙති. ඒ භවගාමි සත්ත්වයාට සසර දුකින් එතෙරව නිවනට යන මඟ උගන්වන හෙයිනි; ආචාර්ය මුෂ්ටි වශයෙන් කිසිවක් සඟවා නොගෙන සුවාසූ දහසක් ධර්මස්කන්ධයම ලොවට බෙදා දෙන හෙයිනි (නත්ථානන්ද තථාගතස්ස ධම්මේසු ආචරිය මුට්ඨි); එසේම සිව්වනක් ශ්‍රාවක පිරිස කෙරෙහි මහා කරුණාවෙන්ම ධර්මදානය කළ හෙයිනි. එනයින් උන් වහන්සේ ගුරුන් අතර අතිපූජනීය අග්‍රගුරු වූහ; ‘අච්ඡරිය මනුස්සෝ’ – මිනිසුන් අතර ආශ්චර්යවත් පුරුෂෝත්තමයාණෝ වූහ.

එකල්හි ඉගැන්වීමේදී භාවිත ප්‍රධානතම ක්‍රමෝපාය වූයේ, ආචාර්යවරයා දේශනා කිරීමත්, ශිෂ්‍ය සමූහයා ශ්‍රවණය කිරීමත්ය. එසේ බුදුන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කළ සිවුවනක් පිරිස බුද්ධ ශ්‍රාවකයෝ වූහ. උන් වහන්සේ, තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට ධර්මය මෙන්ම විනයද ඉගැන්වූ සේක. එසේ දේශනා කළ හා පනවනු ලැබූ ධර්ම-විනය දෙක තමන් වහන්සේගේ ඇවෑමෙන් බුද්ධශ්‍රාවක පිරිසට ස්වකීය ශාස්තෘවරයා වන්නේයැයි වදාළහ.

චූල සච්චක සූත්‍රයෙහි පෙන්වා දෙන පරිදි බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ පරමාර්ථ වශයෙන් කරුණු පහක්, මුල් කරගෙනය. එනම්: (1) ‘බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති,’ ප්‍රබුද්ධ වූ භගවත්හු අන්‍යයන්ගේ ප්‍රබෝධය පිණිස, ධර්මය දේශනා කරති. (2) ‘දන්තෝ සෝ භගවා දමථාය ධම්මං දේසේති,’ දාන්න වූ ඉඳුරන් දමනය කළා වූ භගවත්හු, අන්‍යයන්ගේ ඉඳුරන් දමනය කරනු පිණිස ධර්මය දේශනා කරති. (3) ‘සන්තෝ සෝ භගවා සමථාය ධම්මං දේසේති,’ ශාන්ත වූ භගවත්හු අන්‍යයන්ගේ සමනය පිණිස ධර්මය දේශනා කරති. (4) ‘තණ්ණෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති,’ ස්වකීය සකලවිධ කටුක දුක් පීඩා තරණය කළ භගවත්හු, අන්‍යයන්ගේ එවන් වූ අප්‍රමාණ ගැටලු නිරාකරණය කරනු පිණිසත්, එමගින් ඔවුන් තරණය කරවනු පිණිසත් ධර්මය දේශනා කරති. (5) ‘පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති,’ පිරිනිවන් පා වදාළ බුදු රජාණන් වහන්සේ, තමන් වහන්සේගේ සිත ඉතිරි නොකර මුළුමනින් නිවාගත් ලෙස, අන්‍යයන්ගේ චිත්ත චෛතසික මුළුමනින් නිවාලනු පිණිස ධර්මය දේශනා කරති. එසේ දේශනා කර ඉගැන්වීම නම් වූ මහගු කාර්යයේ දී සැබෑ ගුරුවරයා තම සිසුවාගේ ප්‍රබෝධය, දමනය, සමනය, තරණය යන සතරාකාර අභිමථාර්ථ සාධනය පිණිස මෙන්ම ඔහු නිවී සැනැසුණු පුද්ගලයකු බවට පත් කිරීමද අරමුණු කරගත යුතු බව මෙමගින් පෙන්වා දෙති. එයින්ම සිසුවා ලෞකික අපේක්ෂා හා ආධ්‍යාත්මික අපේක්ෂා යන දෙයංශයෙන්ම එකවර එතෙර වෙයි. මෙය උගන්වන්නා උගත යුතු මහගු පාඩමකි.

සත්‍යය වටහා දීමේදී බුදු රජාණන් වහන්සේ අනුගමනය කළ දේශනා ක්‍රම විවිධාකාර විය. උන් වහන්සේගේ ඇතැම් ධර්ම දේශනා ඉතා දීර්ඝවද, තවත් ඒවා මධ්‍යම ප්‍රමාණයෙන්ද, සමහර දේශනා කෙටියෙන්ද යුක්ත විය. එහෙත් ඒ සෑම ධර්ම දේශනාවක්ම ශ්‍රාවකයාට ඉන් පෙර අසා නොතුබුණු අපූර්ව වූද, විචිත්‍ර වූද, අර්ථ-ධර්ම රසයෙන් පරිපූර්ණ වූ ද දේශනාවක්ම වූයේය. ‘සෝ ධම්මං දේසේති, ආදි කල්‍යාණං මජ්ෙක්‍ධ් කල්‍යාණං, පරියෝසනා කල්‍යාණං, සාත්ථං, සබ්‍යඤ්ජනං, කේවලපරිසුද්ධං පරිපුණ්ණං…’ යනාදි වශයෙන් ඒ සෑම දේශනාවකම, ඉගැන්වීමකම මුල–මැද–අග යන තුන් තැනම යහපත් විය; අර්ථ සම්පන්න විය. සමස්ත අන්තර්ගතය තුළ අතිශයෝක්ති වර්ණනා නොවීය; නිසරු එකදු වදනක් හෝ පුනරුත් දොස් හෝ නොවීය. සියල්ල ලෙවී-ලොවුතුරු රසයෙන් අතිමධුරතර වූයේමය.

ඉගැනීම සහ පිළිගැනීම පිළිබඳ කාරණයේදී පිළිපැදිය යුතු වඩාත් නිවැරදි හා ප්‍රායෝගික පිළිවෙත කුමක්ද යන්න ප්‍රථම වරට ලොවට උගන්වා වදාළ ශ්‍රේෂ්ඨතම ආචාර්යවරයා වනුයේද බුදු රජාණන් වහන්සේය. කාලාම සූත්‍රයේදී කාලාම ගෝත්‍රිකයනුත්, ආවර්තනී මායාවක් (මිනිසුන් වසඟයට ගෙන ඇද-බැඳ තබාගැනීමේ මායා බලයක්) ගැන විමසූ කල භද්දිය නමැති ලිච්ඡවි රජකුමරුනුත් අමතා බුදු රජාණන් වහන්සේ වදාළේ, ඇසූ පමණින්, පරම්පරාවෙන් පැවත ආ පමණින්, පෙළෙහි සඳහන් පමණින්, තම ගුරුකුලයට අයත් පමණින්, කෙනකුගේ සුදුසුකම දුටු පමණින්, ගුරුවරයා වූ පමණින්, තර්කයට-න්‍යායට ගැළපෙන පමණින්, විචාරයට හසු වන පමණින්, පිළිගත් මතයට අනුකූල වූ පමණින් අවිචාරයෙන් කිසිවක් නොපිළිගන්නා ලෙසය. ස්වකීය බුද්ධියෙන් විමසා බලා මෙය සත්‍යය – මෙය අසත්‍යය, මෙය යහපත්ය – මෙය අයහපත්ය, මෙය කුසලය – මෙය අකුසලය කියා යම් විටෙක තමන්ටම මනාව වැටහේ නම් පමණක්, ඒ අනුව අවසන් නිගමනයට එළඹෙන ලෙස උන් වහන්සේ උපදෙස් දුන්හ. රත්රන්වල ඇති පිරිසිදු බව සහතික ලෙස දැනගැනීම සඳහා රන්කරුවා එය උරගලෙහි ගා බලන්නාක් මෙන් සත්‍යය වටහාගැනීමේදී ධර්ම-විනය අනුව සසඳා බලන මෙන්ද උන් වහන්සේ ශ්‍රාවකයාට දන්වා වදාළහ. අන්ධානුකරණයට හා ගතානුගතිකත්වයට ගැති නොවූ නිදහස් චින්තනය යනු මෙය වේ. යම් සේ ගුරුවරයා ඉගැන්වූ කරුණුත්, පොතපතේ සඳහන් කරුණුත් අවිචාරයෙන් ගෙන සිය මස්තිෂ්කයේ බහා ගබඩා කරගැනීම සැබෑ ඉගැනීම නොවන බවද මෙයින් පැහැදිලි කැරේ. එහි පරිගණකයක් මගින් අනුන් විසින් සපයනු ලබන දත්ත යාන්ත්‍රිකව ගබඩා කර තබාගැනීමකට වැඩි වෙනසක් නැත.

බෞද්ධ ඉගැන්වීමේ ක්‍රමය සැකසී ඇත්තේ ශක්තිමත් ප්‍රායෝගික හා විද්‍යාත්මක පසුතලයක පිහිටාය. එය අංග හයකින් යුක්තය: (1) දේශනා, (දේශනා ක්‍රමය –  LECTURE METHOD), (2) පඤ්ඤාපනා (තාර්කික සිද්ධාන්ත ක්‍රමය –  THEOREM METHOD), (3) පට්ඨපනා (පුනරීක්ෂණ ක්‍රමය – REVISION METHOD), (4) විභජන (විශ්ලේෂණ ක්‍රමය – ANALYTICAL METOD), , (5) විචරණ (විමර්ශන ක්‍රමය – EXPLORATORY METHOD), (6) උත්තානි කම්ම (නොපැහැදිලි තැන් පැහැදිලි කිරීමේ ක්‍රමය –  METHOD OF CLARIFING – OBSCURE POINTS) යනුවෙනි. නොඑසේව එකම ඉගැන්වීමකට හෝ එකම ශක්‍යතාවකට හෝ එකම වැකියකට හෝ සීමා වී, බැඳී සිටීමෙන් පුද්ගලයකුට අවබෝධ ඥානය ලබනු නොහැකිය. බුදුන් වහන්සේ කිසි විටක යම් නිශ්චිත ධර්මයක් පමණක් දේශනා නොකළහ; ‘කිං සච්ච ගවේසි’, සත්‍යය සාක්ෂාත් කරනු පිණිස විවිධ කෝණමාන ඔස්සේ විමර්ශනය කළහ. විභජ්ජවාදීව කොටස් කර විමසා බැලූහ; ගවේෂණය කළහ; අරිය පරියේෂණයෙහි යෙදුණහ; විදර්ශනාව වැඩූහ. මෙය ලෞකික අවශ්‍යතා උදෙසා සිත-කය හැඩගස්වමින්ද, හුරු-පුරුදු කරමින්ද, දැනුවත් කරමින්ද, ඉනික්බිති අධ්‍යාත්මය ඉහළ තලය කරා රැගෙන යන්නට දරනු ලැබූ ප්‍රායෝගික ප්‍රයත්නයකි.

බුදු රජාණන් වහන්සේ, තමන් වහන්සේ අවබෝධ කරගත් ගැඹුරු දහම දේශනා කිරීම හා ඉගැන්වීම ආරම්භ කළේ ශ්‍රාවක ශිෂ්‍යයන් පස් දෙනකුගෙන් හෙවත් පස්වග තවුසන්ගෙනි. වැඩි කල් නොයා උන් වහන්සේ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකගේ ශ්‍රේෂ්ඨතම ආචාර්යවරයාණන් බවට පත් වූහ. උන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුවද එතෙක් – මෙතෙක් ලොව පුරා ඇති වූ සිව්වනක් බුද්ධ ශ්‍රාවක පිරිස කොතෙක්ද යන්න නිශ්චිතව කියන්නට දන්නා කෙනෙක් නැත. මහා කාරුණික වූ බුදු රජාණන් වහන්සේ සැමට ධර්මය දේශනා කළේ ඒ සැමගේ එලොව-මෙලොව යහපතම උදෙසාය. උන් වහන්සේ ශ්‍රාවකයාට ධර්මය දේශනා කළා පමණක් නොව, ශ්‍රාවකයාට උන් වහන්සේගෙන් ප්‍රශ්න කිරීමටද ඉඩ දුන්හ. පුහුදුන් මනසට ගෝචර නොවන පරමාර්ථ දේශනාවේදී අතිශය ගැඹුරු ධර්ම කාරණ අවබෝධ කරවීමට උන් වහන්සේ බොහෝ විට සම්මුති ලෝකයෙන්ම සරල උපමා යොදාගත්හ. මේ ඊට කදිම උදාහරණ කිහිපයකි: ‘දබ්බි සූප රසං යථා’ (හැන්ද ව්‍යංජන රස නොදන්නා සේ), ‘යථා දණ්ඩේන ගෝපාලෝගාවෝ පාජේති ගොරං’ (ගොපල්ලා දණ්ඩෙන් පහර දී ගවයන් ගොදුර වෙත දක්කන්නා සේ) ‘වාතෝරුක්ඛංඛ දුබ්බලං’ (වාතය දුර්වල ගස පෙරළන්නා සේ), ‘උරගෝ ජින්නමිව තවං පුරාණං’ (සර්පයා හැව අරින්නා සේ), ‘චක්කංව වහතෝ පදං ‘ (ගොනු පා අනුව යන රිය සක සේ), ‘ඡායාව අනපායිනී’ (සිරුර හැර නොයන සෙවණැල්ල සේ).

ගැඹුරු ධර්මය ඉගැන්වීමේදී උපමා රූපක පමණක් නොව, උන් වහන්සේ වෙනත් උපායන් යෙදූ අවස්ථා ද බෞද්ධ සාහිත්‍යයෙහි කොතෙකුත් දක්නට ඇත. තම එකම පුතු මළ සොවින් සිහිවිකල්ව පුතුගේ මළ සිරුර කරපින්නාගෙන පැමිණි කිසාගෝතමියට උන් වහන්සේ කිසිවකු නොමළ ගෙයකින් අබමිටක් රැගෙන එන්නැයි දන්වා ගෙන් ගෙට යැවීමෙන් පසු ඕ මරණය සේම සසර දුකද මැනවින් අවබෝධ කරගත්තාය. ඉක්බිති කිසාගෝතමිය පැවිද්ද ලබා රහත් ඵලයටද පැමිණියාය. පුරුෂයන් කාම රාගයෙන් මුසපත් කළ සිරිමා නම් වූ නගරශෝභිනිය මිය ගිය විට ඇගේ මෘත දේහය ආදාහනය නොකර දින කිහිපයක් නගර සීමාවෙහි තබාගෙන එය වෙන්දේසි කරන්නැයි උන් වහන්සේ කොසොල් රජුට දන්වා සිටියහ. මසුරන් දහසෙන් ලන්සුව ආරම්භ කර කිසිවකු මළ මිනිය නොගත් හෙයින් එක මසුරම දක්වා මිල පහත හෙළනු ලැබිණි. අවසන ඉදිමී – පුපුරා – හාත්පසින් පූයා වැගිරෙන දුර්ගන්ධ වූ මේ කුණපය මිලක් නොගෙවාම ඇවැසි කෙනෙක් වෙත් නම් රැගෙන යන්නැයි දන්වා සිටියත් කිසිවකු ඉදිරිපත් වූයේ නැත. එයින්ම රූපස්කන්ධයෙහි පවත්නා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ දහම නගරවාසීහු සූක්ෂ්මව අවබෝධ කරගත්හ; ඇතැම්හු මාර්ග ඵලද ලැබූහ. සාර මසක් මුළුල්ලෙහි එකම ගාථා පාඨයක්වත් වනපොත් කිරීමට අපොහොසත් වූ ‘චුල්ල පන්ථක’ තෙරුන් වහන්සේ, බුදු රජාණන් වහන්සේගේ නියමයෙන් පිරිසුදු සුදු-රෙදි කඩක් ගෙන හිරු දෙස බලාසිටිමින් ‘රජෝ හරණං – රජෝ හරණං’ කියමින් අතින් පිරිමදින කල, එය අවපැහැ ගැන්වෙන අයුරු දැකීමෙන් උගත් ධර්මය විසින් රහත් ඵලයට ඔසවා තබනු ලැබූහ.

පැරණි වූ පමණින් හෝ අලුත් වූ පමණින් හෝ කිසිවක් යහපත් හෝ අයහපත් හෝ නොවේ; වැරදිද, නිවැරදිද නොවේ. යමක් යහපත් හෝ නිවැරදි හෝ නම්, සාධනීය ලක්ෂණ පිළිබිඹු වේ නම්, එහිලා අලුත්-පැරණි භේදයක්ද නැත. සෑම අලුත් දෙයක්ම චිරාගත ශුද්ධ වස්තු කෙලෙසීමක් ලෙස දිස් වන්නේ, අප සිතන අන්දමට නම් ළිංමැඬියන්ට පමණි. එමෙන්ම සෑම පැරණි දෙයක්ම නව ලොව හමුවේ යල් පැන ගිය, මල කෑ මෙවලමක් සේ දිස් වන්නේ අතීතයෙන් උගත හැකි දෑ එමට ඇති බව නොදැන බක–බක’ ගානා පණ්ඩිතමානී මැඩියන්ට පමණි.

Posted in Uncategorized | Leave a comment

එක සිල් පදයක අනුහස්!

0118පංචශීල ප්‍රතිපත්තියම උතුම්ය. එහි එක් සිල් පදයක් හෝ නිසියාකාරව ආරක්ෂා කරන්නේ නම් මහත් ඵල මහානිසංස මෙලොවදීම ලබන්නේමය. මේ පුවත සීහළවත්ථුව ඇසුරෙන් මතු කරගත් තවත් සිරි ලක බණකතාවකි.
ධන සම්පත්තියෙන් හා භව-භෝග සම්පත්තියෙන් ආඪ්‍ය වූ සුරට්ඨ නම් දනවුවෙහි සීලවන්ත වූ භික්ෂූන් වහන්සේ වැඩ-වාසය කරන විහාරයකි. එහි මහානිධි පර්වතය අසල ධුතාංගධර යෝගාවචර පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ නමක් වැඩ-වෙසෙති.

දිනක් උදෑසන උන් වහන්සේ පිඬු සිඟා වැඩ ලද ආහාරය තැනක තැබූහ. මහ රෑ මුළුල්ලේ සොරකමේ යෙදුණු දරුණු සොරෙක් සා-පිපාසාවෙන් පෙළුණේ විහාරස්ථානයට යනුයේ තෙරුන් පි¾ඩු සිඟා ලද ආහාරය දකියි. යම් ලෙසකින් ‘මේ හාමුදුරුවන් වහන්සේ මට ආහාර ස්වල්පයක් නොදුන්නේ නම් මම අද රෑ විත් සිවුරු-පාත්‍ර සොරකම් කරන්නෙමි’ යි හෙතෙම පසෙකට වී තනිවම සිතමින් සිටියේය. හාමුදුරුවන් වහන්සේද දානය වළඳන්නට සූදානම්ව සොරා දැක, “පින්වත ආහාර ගන්නැ” යි කාරුණිකව ඇරියුම් කළහ. සා-පිපාසාවෙන් පෙළුණු සොරා ඒ ආහාර මහත් ගිජු ලෙසින් අනුභව කොට සන්තෝෂයට පත් විය. හේ මෙසේ කියන්නට විය:

“හාමුදුරුවන් වහන්ස, මම වනාහි දරුණු සොරෙක්මි. යම් හෙයකින් මට ආහාර බිඳක් නොදී සිටියේ නම් ඔබ වහන්සේගේ පා-සිවුරු සොරකම් කරන්නට මම අදහස් කරගෙන සිටියෙමි. මට සමා වනු මැනවි, ස්වාමීනි!”

“හොඳයි හොඳයි. මම ඔබට සමාව දෙමි. ඉදින් තොප මා කියන දේ කරන්නේ නම් එකක් කියමි. එනම්: පන්සිල් ආරක්ෂා කරව.”

“ස්වාමීනි, පන්සිල් කියන්නේ මොනවාද?”

යෝගාවචර භික්ෂූන් වහන්සේ පන්සිල් පද එකිනෙක සොරුට පැහැදිලි කළහ. එවිට සොරා “ස්වාමීනි, මේවා නම් මට ආරක්ෂා කරන්නට බැහැ” යි කියන්නට විය. ඉනික්බිති දෙදෙනා අතර මෙබඳු කතා-බහක් ඇති විය:

“පින්වත් පුරුෂය, පහම රැකීම අපහසු නම් හතරක් රකින්න.”

“බැහැ, ස්වාමීනි.”

“තුනක් වත් රකින්න.”

“බැහැ, ස්වාමීනි.”

“එසේ නම් පින්වත, සිල් පද දෙකක් ආරක්ෂා කරන්න.”

“බැහැ ස්වාමීනි, මට අපහසුයි ස්වාමීනි.”

“හොඳයි, ඔබ එක සිල්පදයක් වත් ආරක්ෂා කරන්න.”

“හොඳයි ස්වාමීනි, මම ඒ පහෙන් පරදාර සේවනයෙන් වෙන් වීම නම් වූ තුන්වන සිල්පදය ආරක්ෂා කරන්නෙමි.”මෙලෙස සොරු අවසන තුන්වන සිල්පදය රැකීමෙහි පොරොන්දු විය. හාමුදුරුවන්ගෙන් අවසර ගෙන හෙතෙම නික්ම ගියේය.

සොරා එදින සොරකම් කිරීමට යොමු වූයේ ධනවත් ගෙදරක සිටිනා ගොනුන් තිදෙනකුය. හේ මධ්‍යම රාත්‍රියෙහි කාටත් හොරෙන් බොහෝ පරිස්සමින් ගෙට ඇතුළු විය. ගෙදර ගෘහිණියගේ ඇසට සොරු ලක් විය. වහා ඇය සිත ඔහු පිළිබඳ සිතක් පහළ වෙයි.

“තරුණය, මේ මහ රෑ ආයේ කුමක් පිණිසද?”

“ඔබගේ ගෙදර සිටිනා ගොනුන් ගෙනයෑම පිණිසය.”

“තරුණය, තොප මා කීවාක් කරන්නේ නම් තොප කැමැති ඕනෑම දෙයක් ගෙනයෑමට ඉඩ දෙමි.”

“හොඳයි. මා කළ යුත්තේ කුමක් ද?”

“කාමයට ගිජු වුණේ යුද්ධයට බැඳීමද, ජලයට පිවිසීම ද, සොරුන් අතරට යෑමද, මහා වනාන්තරයට ඇතුළු වීමද, පර්වත දුර්ගයකට පිවිසීමද සැලකිල්ලට නොගනී. තොප මා කාම සන්තර්පණයෙන් පිනවව! තොප එසේ කරන්නේ නම් තොපගේ සියලු අවශ්‍යතා සාර්ථක වන්නේය.”

“ස්ත්‍රිය, මම එබන්දක් අසන්නට වත් කැමැති නොවෙමි. මම පරදාර සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය රකින්නෙක්මි. කිසි සේත් මම ඊට එකඟ නොවෙමි.”

මේ සංවාදය ගෘහ හිමියාට ඇසෙයි. හේ වහා අවදිව සොරා අල්ලාගනියි; තම බිරියගේ අත්-පා ගැටගසයි.

“යහළුව, මම සියලු කථාව අසා සිටියෙමි. මේ ස්ත්‍රියගෙන් මට වැඩක් නැත. ඇය අදම ගෙයින් පන්නමි. තොප අද සිට මගේ කල්‍යාණ මිත්‍රයෙකි; සහෝදරයෙකි. මේ ගෙදර ඔබගේ ලෙස සලකන්න. අවශ්‍ය දෑ අරගන්න.”

සොරු පුදුම විය.

‘මම ආරක්ෂා කළේ එක්ම එක් සිල් පදයක් පමණි. ඉන් මම එක් රැයින් මහා සම්පත් ලැබීමේ භාග්‍යය ලැබීමි. මට අවශ්‍ය වූ ගොනුන්ද ලැබීමි. එපමණක් නොව, යහපත් ධාර්මික සහෝදරයකු, මිත්‍රයකු ලැබීමි. මරු බිය දුරු වී ප්‍රිය ජීවිතය ලැබීමි. ඇත්තටම සිල්පද පහම රකින්නවුන්ට කෙතරම් නම් ඵල ලැබෙනු ඇද්ද? දැඩිව පන්සිල් රකිමි.’

මෙසේ සිතන්නට වූ හෙතෙම මහත් සතුටින් භික්ෂූන් වහන්සේ වෙත ගොස් සියලු පවත් දන්වා, “එක් සිල්පදයක් රැකීමෙන් මරණ බියෙන් මිදුණෙමි. දැන් අපා බියෙන්ද සසර දුකෙන්ද මා මුදනු මැනවි. මා හට පන්සිල් දුන මැනවි. මම එය දිවිතෙක් සුරකිමි” යි පැවසීය.

“පින්වත, ඔබට තිසරණ සහිත පංචශීලය දෙමි. ඒ සුරැකීමෙන් දුගතියෙන් මිදෙයි; මිනිස් නොමිනිස්, තිරිසන් සියලු දෙනාගේ විශ්වාසය ලබයි; දිව්‍ය-මනුෂ්‍ය-ආර්ය සම්පත් ලබයි.”

සතුටු සිතැති සොරු බැති සිතින් තිසරණ සහිත පන්සිල් සමාදන් වූයේ, සිල්පද රකිමින්, පව් නොකරමින් ධර්මයෙන් සතුටු වන විශිෂ්ට උපාසක තැනැත්තකු බවට පත් වූයේය.

Posted in Uncategorized | Tagged | Leave a comment

අපේ සිතේ හැටි

empty_mind_440[1]මිනිසා යන සත්ත්වයා මනස සහ ශරීරය, එනම් සිත සහ කය යන අංශ දෙකෙන් යුක්ත බව අපි කවුරුත් දනිමු. මනස උසස් වූ යන අර්ථය ඇතුව මන උස් නිසා මනුස්ස යන පදය යෙදී ඇති බව අපට පිළිගත හැකි ය. මිනිසා යන සත්ත්වයා දෙස සිත සහ කය යන කෝණ දෙකෙන් ම අපට බලන්න සිදු වේ. අපේ කය පිළිබඳ අපට අපේ සිතින් පහසුවෙන් සිතිය හැකි ය. එසේ නමුත්, අපේ සිතින් අපේ සිත ම පිළිබඳ විමසන්නේ කෙසේ ද? දියමන්තියක් කැපීමට දියමන්ති කැබැල්ලක් ම දියුණු–තියුණු කරගත යුතු ය. ඒ වගේ ම, අපේ සිත පිළිබඳ විමසා බැලීමට අපේ සිත ම අප විසින් ස්වෝත්සාහයෙන් ම දියුණු–තියුණු කරගත යුතු ය. එනම්, භාවනා කළ යුතු ය.

සිත පිළිබඳ සෙවීම සඳහා බෞද්ධයකුට ඇති හොඳ ම ක්‍රමය නම්, ධම්මපදයෙන් පටන් ගැනීම ය. ධම්මපදයේ පළමුවැනි ගාථාව කුමක් දැ යි බොහෝ දෙන දනිති. එනම්:

“මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨෙන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමත්ණෙලති
චක්කංව වහතෝ පදං”

(ධම්මපදය යමකවග්ගය)

මෙම ගාථාවෙහි තේරුම මෙසේ ය:

“සිත සිතිවිලිවලට පෙරටු වේ. සිත සිතිවිලිවලට ශ්‍රේෂ්ඨ වේ. සිතිවිලි සිතින් ම උපදී. ඉතින් යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් හෝ වේවා, ඒ හේතුවෙන් ගොනාගේ පය අනුව යන කරත්ත රෝදය මෙන් දුක ඔහු පසු පස ලුහුබඳී.”

(සිංහල ධම්මපදය, ආචාර්ය මුවගම ඤාණසීහ නාහිමි)

මේ ගාථාව සමග සම්බන්ධ වන නිදාන කථාව වැදගත් වන බැවින් එය දැන් ඉතාමත් ලුහුඬින් පහත දැක්වීම උචිත ය:

පාලිත නම් ධනවත් ගෘහපතියෙක් සසර දුක පිළිබඳ කලකිරී, තමාගේ සියලු සම්පත් බාල සොහොයුරාට පවරා දී, බුදුන් වහන්සේ වෙත ගොස් පැවිදි විය. වයස්ගත වී පැවදි වූ නිසා මහණකමෙහි අග්‍ර ඵලය වන රහත් භාවය වහ–වහා ලබාගැනීම සඳහා එම තෙරුන් වහන්සේ නිදි නොලබා ම විදර්ශනා භාවනාවෙහි යෙදුණහ. මේ නිසා උන් වහන්සේගේ ඇස් දෙක ම දරුණු රෝගාබාධයකට පත් විය. දෑස්වලට පිළියම් කිරීම සඳහා වෛද්‍යවරුන් දුන් උපදෙස් උන් වහන්සේ නොපිළිගත්හ. දිගට ම විදර්ශනා භාවනා කර උන් වහන්සේ රහත් වූ හ. එවිට ම දෑස් අන්ධ විය. උන් වහන්සේගේ නම චක්ඛුපාල විය.

චක්ඛුපාල රහතුන් වහන්සේ පෙර භවයක දී දක්ෂ වෛද්‍යවරයකු වශයෙන් විසූහ. දරුණු ඇස් රෝගයක් සුව කරවාගැනීම සඳහා තමා වෙත පැමිණි ගැහැනියක හට බෙහෙත් කර, ඔහු ඇයගේ ඇස් සුවපත් කළේ ය. එසේ වුවත් ඇය, ලෝභකම නිසා, වෛද්‍යවයාට ගෙවීම් කිසිවක් නොකරන අදහස ද ඇති ව ඇස් සුව නොවූ බවක් කියා වෛද්‍යවරයා රැවටී ය. වෛද්‍යවරයාට කාරණය අවබෝධ වී, තමාගේ සිත කිලිටි කරගෙන, ඇස් තවත් සනීප වීම සඳහා ය යි කියමින් විෂ සහිත බෙහෙතක් ඇයගේ ඇස් දෙකට දමා, ඇයගේ ඇස් දෙක ම අන්ධ කළේ ය. අවසාන භවයේ දී චක්ඛුපාල රහතුන් වහන්සේගේ දෑස් අන්ධ වූයේ එදා වෛද්‍යවරයා වශයෙන් සිටිය දී කිලිටි සිතින් කළ ක්‍රියාව නිසා ය.

මෙම චක්ඛුපාල කථා වස්තුව බුදුන් වහන්සේ දෙසා වදාළේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර දී ය. මෙවැනි නිදාන කථා අප අතර කොතරම් ප්‍රකට ද?

ධම්මපදයෙහි දෙවැනි ගාථාව මෙසේ ය:

“මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති
ඡායාව අනපායිනි”

(ධම්මපද, යමකවග්ගය)

මෙම ගාථාවෙහි තේරුම මෙසේ ය:

සිත සිතිවිලිවලට පෙරටු වේ. සිත සිතිවිලිවලට ශ්‍රේෂ්ඨ වේ. සිතිවිලි සිතින් ම උපදී. ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් හෝ වේවා, ඒ හේතු කොටගෙන ඉවත් නොවී පසුපස යන සෙවණැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසුපස යයි.”

(සිංහල ධම්මපදය, ආචාර්ය මුවගම ඤාණසීහ නාහිමි)

මෙම ගාථාව සමඟ සම්බන්ධ වන නිදාන කතාව වැදගත් වන බැවින්, එය දැන් ඉතාමත් ලුහුඬින් පහත දැක්වීම උචිත ය.ධනයෙන්, දේපළවලින් සහ සියලු යස–ඉසුරින් සරු වූ, බමුණෙක් සැවත් නුවර විසුවේ ය. ඔහු ඉතාමත් මසුරු කෙනකු වූ අතර, ඔහු කිසිවකුට–කිසිවක් වත් නුදුන්නේ ය. ඒ නිසා ඔහු අදින්නපුබ්බක නම් විය. අන්ත ලෝභකම නිසා ඔහු කෑම–බීම ගත්තේ හා ඇඳුම්–පැලඳුම් පාවිච්චි කළේ ඉතාමත් අල්ප වශයෙනි. ඔහුගේ එක ම පුතාට ද ඔහු සැලකුවේ එම මසුරු ආකාරයෙන් ම ය. මේ පුතා හට රත්රන් කන් ආභරණ සැදවීම සඳහා රන්කරුවන්ට වියදම් කිරීමට මැළි ව, ඔහු රත්රන් කැබලි නිකම් ම තළා, මට්ටම් කර, පුතාගේ කන්වල පැලඳෙව්වේ ය. මේ නිසා බමුණු පුතාට මට්ටකුණ්ඩලී යන නම ලැබිණ. අන්ත මසුරුකම නිසා අදින්නපුබ්බක බමුණු පියා, මට්ටකුණ්ඩලී පුතුට කිසිම ශිල්ප–ශාස්ත්‍රයක් ඉගැන්වූයේ නැත; හරියට කෑම–බීම” ඇඳුම්–පැලඳුම් සැපයුවේ නැත; ලෙඩට නියම බෙහෙත් වෙදුන්ගෙන් ලබා දුන්නේ නැත. එසේ වුවත් මට්ටකුණ්ඩලී ගුණවත් කෙනෙක් විය. නිසි සැප–සාත්තු නොමැති වූ නිසා, මට්ටකුණ්ඩලී අසනීප වී, බලවත් ලෙස රෝගී විය. ගෙදරට වෙදුන් ගෙන්වා වෙදකම් කරවාගන්නට ගිය හොත් මහත් වියදම් වෙයි; ගෙදර ඇති අතිමහත් වස්තු සම්භාරය, වෙදුන්ටත් ලෙඩා බලන්නට එන අයටත් පෙනෙයි, ආදි අදහස් නිසා අදින්නපුබ්බක පියා, අසාධ්‍ය ලෙස රෝගි වූ මට්ටකුණ්ඩලී පුතු ගෙදර ඉස්තෝප්පුවට ඇදගෙනැවිත් දැම්මේ ය. මට්ටකුණ්ඩලී සිහි නැති ව මරණයට ළඟා වෙමින් සිටින විට, බුදුන් වහන්සේ මහාකරුණාවෙන් මට්ටකුණ්ඩලී වෙතට වැඩියහ. මරණාසන්න වූ මට්ටකුණ්ඩලීගේ සිත පැහැදී ප්‍රසන්න විය. ඔහු මිය ගොස් මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා
ලෙස දෙව්ලොව උපන්නේ ය.

මෙම මට්ටකුණ්ඩලී කථා වස්තුව බුදුන් වහන්සේ දෙසා වදාළේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර දී ය.

ඉහත සඳහන් කරන ලද ගාථා දෙකෙහි ඇතුළත් වන හරය මෙසේ සංක්ෂිප්ත ව ඉදිරිපත් කළ හැකි ය:

පවිටු සිතින්, එනම් නරක සිතින්, යමෙක් කිසිවක් කළ හොත් එහි ප්‍රතිඵල, ගොනා පිටුපස කරත්ත රෝදය එන මෙන් ඔහු පසුපස එයි. පහන් සිතින්, එනම් හොඳ සිතින් යමෙක් කිසිවක් කළ හොත් එහි ප්‍රතිඵල තමාගේ සෙවණැල්ල මෙන් ඔහු පසුපස එයි.

මේ අනුව, සසර ගමන දුකින් තොර ව කෙළවර කරගැනීමට නම් සිත නො කිලිටි ව ප්‍රසන්න ව පවත්වාගෙන යෑම සඳහා එය හොඳින් තබාගත යුතු ය. මේ වූකලි, බුදුන් දෙසූ නිවන් මඟෙහි පළමුවැනි පියවර යි.

දැන් අප විසින් සලකා බැලිය යුතු ප්‍රශ්නය නම්, ඉතා පහසුවෙන් කිලිටි වන සිත ආරක්ෂා කරගත යුතු වන්නේ ඇයි ද යන්න යි. මේ සඳහා ස්ථිර පිළිතුරක් ධම්මපදයේ චිත්ත වග්ගයෙන් අපට ලබා ගත හැකි ය.

“සුදුද්දසං සුනිපුණං
යත්ථකාමතිපාතිතං
චිත්තං රක්ඛේථ මේධාවි
චිත්තං ගුත්තං සුඛාවහං

(ධම්මපද, චිත්තවග්ග)

මෙම ගාථාවෙහි තේරුම මෙසේ ය:

“නුවණැත්තා දැකීමට අමාරු වූ, ඉතා සියුම් වූ, කැමති අරමුණක් ගන්නා වූ සිත රකින්නේ ය. රකින ලද සිත සැප ගෙන දෙන්නේ ය.

(සිංහල ධම්මපදය, ආචාර්ය මුවගම ඤාණසීහ නාහිමි)

මේ ගාථාවට අදාළ නිදාන කථාව ඉතාමත් ලුහුඬින් මෙසේ ය:

සැවැත් නුවර ඉතා යහපත් ලෙස ජීවත් වූ සිටු කුමාරයෙක් තුනුරුවන් කෙරෙහි ඉතාමත් භක්තියෙන් සිටිමින්, බොහෝ සිල්වත් වූ තෙරුන් වහන්සේ නමක් ඉතා සමීප ලෙස ආශ්‍රය කළේ ය. තෙරුන් වහන්සේ දුන් අවවාද පිළිගත් සිටු කුමාරයා බෙහෙවින් ම දන්–පින් කළේ ය; දසසිල් පවා සමාදන් විය. මෙයිනුත් පසු තමා විසින් තවත් කළ යුතු වන්නේ කුමක් දැ යි සිටු කුමාරයා තෙරුන් වහන්සේගෙන් විමසී ය. තෙරුන් වහන්සේ සිටු කුමාරයාට පැවිදි වන ලෙස උපදෙස් දුන්හ. ඉන් පසු සිටු කුමාරයා ඉතා සිල්වත් හා ගුණවත් තෙරුන් වහන්සේලා දෙනමක් යටතේ ඉගෙනගනිමින් මහණ දම් පිරීම ආරම්භ කළේ ය. දහම පිළිපැද්දවීම සහ ඉගැන්වීම සඳහා දැඩි ලෙස ගුරු තෙරුන් වහන්සේලා වෑයම් කිරීම නිසා, මෑත දී මහණ වූ ශිෂ්‍ය තෙරුන් වහන්සේගේ සිත කලකිරුණේ ය. මෙහි ඇති සෙතක් නැතැයි ශිෂ්‍ය තෙරුන් වහන්සේ සිතන්නට වූ හ: සිවුරු හැර යෑමට ද අදහසක් ඇති විය. මේ තත්ත්වය අවබෝධ කරගත් ගුරු තෙරුන් වහන්සේ දෙනම, ශිෂ්‍ය තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ වෙත ගෙන ආ හ. දකින්නට නොහැකි වූ ද ඉතා සූක්ෂ්ම වූ ද සිත, ඥානවන්තයා විසින් ආරක්ෂා කරගෙන සැප සලසාගන්නා බව, බුදුන් වහන්සේ උකටලී වූ ශිෂ්‍ය තෙරුන් වහන්සේට වදාළහ. එම තෙරුන් වහන්සේ සිත මනා කොට සකසාගෙන, සෝවාන් ඵලය ලැබූ හ.

මෙම උකටලී වහන්දෑගේ කථා වස්තුව බුදුන් වහන්සේ දෙසා වදාළේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර දී ය.

ඉහත සඳහන් කථා වස්තුවෙහි හරය මෙසේ සංක්ෂිප්ත ව ඉදිරිපත් කළ හැකි ය: සැප ලැබීමට නම්, සිත මැනවින් පාලනය කරගත යුතු ය.

ඥානවන්තයා විසින් තම සිත ආරක්ෂා කර ගත යුත්තේ කුමන ආකාරයට දැයි ධම්මපදයෙහි චිත්තවග්ගයෙහි පළමු වැනි ගාථාවෙහි සඳහන් කර ඇත. ඒ මෙසේ ය:

“ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවි
උසුකාරෝව තේජනං

(ධම්මපද, චිත්තවග්ග)

මෙම ගාථාවෙහි තේරුම මෙසේ ය:

“නුවණැත්තා සෙලවෙන්නා වූ, චපල වූ, රැකගැනීමට අමාරු වූ, නුසුදුසු අරමුණෙන් වළකාගන්නට නොහැකි වූ, සිත, හීවඩුවකු හීයක් ඇද සකස් කරගන්නාක් මෙන් ඍජු කරයි.”

(සිංහල ධම්මපදය, ආචාර්ය මුවගම ඤාණසීහ නාහිමි)

මෙම ගාථාවට අදාළ නිදාන කථාව ඉතා ලුහුඬින් මෙසේ ය.

සාලීය රට සාලීය පර්වතයෙහි වූ වෙහෙර බුදුන් වහන්සේ විවේක සුවයෙන් වාසය කළ සේක. උන් වහන්සේට එහි දී ඇප–උපස්ථාන කළේ මේඝිය නම් තෙර නමකි. එක් දිනක් බුදුන් වහන්සේ විඩා සංසිඳවනු සඳහා මේඝිය තෙරුන් වහන්සේ සමඟ ගං ඉවුරකට වැඩියහ. එහි ඉතා ලක්ෂණ අඹ වනයක් විය. මේඝිය තෙරුන් වහන්සේගේ සිත, ජනීජනයාගෙන් තොර වූ අඹ වනය කෙරෙහි බෙහෙවින් ම ඇදී ගියේ ය. ඒ අඹ වනයට ගොස් භාවනා කිරීම මැනැවැ යි සිතා, උන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඒ සඳහා අවසර ඉල්ලූහ. එහි යෑම කල් තබන ලෙස බුදුන් වහන්සේ මේඝිය තෙරුන් වහන්සේට අවවාද කළහ. තුන් වැනි වරටත් ඒ අවසරය ඉල්ලූ කල, බුදුන් වහන්සේ මේඝිය තෙරුන් වහන්සේට තමන්ගේ කැමැත්තක් කරන ලෙස වදාළහ.

භාවනා කිරීම සඳහා අඹ වනයට ගිය මේඝිය තෙරුන් වහන්සේගේ සිත, මතු සඳහන් වන හේතුව නිසා කැලඹී, භාවනා කිරීම අමතක විය. පෙර භවයක දී රජ කෙනකු වශයෙන් ජීවත් ව සිටිය දී, සිත් අලවන නළඟනන් සමඟ කම් සැප විඳිමින් උයන් කෙළියෙහි යෙදුණේ මේ අඹ වනයේ දී ය: එම රජු දවස භවයේ විවිධාකාර රාජ්‍ය පාලන මතක, මේඝිය තෙරුන් වහන්සේගේ සිතෙහි පෙර භව මතක ලෙස උද්ගත විය. ඒ නිසා උන් වහන්සේගේ සිත සසල විය; භාවනාව අමතක විය. ඉන් පසු බුදුන් වහන්සේ වෙත පැමිණ තමාට ඇති වූ දුෂ්කරතාව මේඝිය තෙරුන් වහන්සේ බුදුන් වහන්සේට ප්‍රකාශ කළහ. සිත නිතර පෙරළෙන චපල එකක් බැවින්, එය මැනවින් සකස් කරගෙන, වෑයම් කර, කෙලෙස් නැසිය යුතු බව බුදුන් වහන්සේ මේඝිය තෙරුන් වහන්සේට වදාළහ. එම තෙරුන් වහන්සේ සෝවාන් ඵලය ලැබූහ.

මෙම මේඝිය තෙරුන්ගේ කථාව බුදුන් වහන්සේ දෙසා වදාළේ සාලීය රට සාලීය පවු වෙහෙර දී ය.

ඉහත සඳහන් කරන ලද කථා වස්තුවෙහි ගැබ් වී ඇති මූලික හරය මෙසේ ය: ඇද ඇති ඊය නොමඟ යයි; ඇද හැර ගත් ඊය නිසි මඟ යයි. එමෙන් ම, අපට සැපත කරා යා හැකි වන්නේ සිතෙහි ඇද–කුදු බව හැර, එය මනා කොට නිතර ම හැසිරවීමෙන් පමණකි.

යම් කෙනෙක් තම සිත මැනවින් සකස් කරගෙන සංයම වූ තත්ත්වයෙහි පවත්වාගනී නම්, ඔහු සසර දුකෙන් මිදෙන බව ධම්මපදයෙහි චිත්ත වග්ගයෙහි 5 වැනි ගාථාවෙන් මෙසේ සඳහන් කර ඇත.

“දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සංයමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා.”

(ධම්මපදය චිත්තවග්ග)

මෙම ගාථාවෙහි තේරුම මෙසේ ය:

“යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ, තනි ව හැසිරෙන්නා වූ, සිරුරක් නැත්තා වූ, ශරීර ගුහාවෙහි නිදන්නා වූ මේ සිත සංවර කරත් ද, ඔවුහු මර බැම්මෙන් මිදෙත්.”

(සිංහල ධම්මපදය, ආචාර්ය මුවගම ඤාණසීහ නාහිමි)

මෙම ගාථාවට අදාළ නිදාන කථාව ඉතා ලුහුඬින් මෙසේ ය:

සැවැත් නුවර සංඝරක්ඛිත නම් වූ රහතුන් වහන්සේගේ ඉතා සැදැහැති නැගණියකගේ පුතු වූ බැවින් නෑකමින් බෑනණුවන් වූ භාගින්‍යෙය සංඝරක්ඛිත තෙරණුවෝ, එම රහතුන් වහන්සේගේ ශිෂ්‍යයකු වශයෙන් මහණ දම් පුරමින් විසූහ. භාගින්‍යෙය තෙරුන්ට එක්තරා ගමක වස් වැසීමෙන් පසු ව හත්රියන් චීවර වස්ත්‍රයක් සහ අටරියන් චීවර වස්ත්‍රයක් පුද පඬුරු ලෙස ලැබිණ. නැවත දෙව්රම් වෙහෙරට පැමිණි භාගින්‍යෙය තෙරණුවෝ, අටරියන් වස්ත්‍රය සිය ගුරු හාමුදුරුවන් වූ සංඝරක්ඛිත රහතුන් වහන්සේට පූජා කළහ. තෙරුන් වහන්සේ නැවත–නැවතත් තෙවරක් ම සිවුර ප්‍රතික්ෂේප කළහ. ගිහි කාලයේ දී තම මාමා වුවත්, දැන් සංඝරක්ඛිත රහතුන් වහන්සේ විසින් සිවුර ප්‍රතික්ෂේප කිරීම නිසා භාගින්‍යෙය තෙරුණුවෝ කලකිරුණාහ. මහණ දම් පිරීම දුෂ්කර ය යි තෙරණුවන්ට සිතිණ. මේ අදහස් නිසා ඒ තෙරුන් වහන්සේට සිවුරු හැර යෑමට ද සිතක් ඇති විය. සිවුරු හැර දමා නැවත ගිහිගෙට ගොස්, අටරියන් වස්ත්‍රය විකුණා, ක්‍රමයෙන් ධනයෙන් සරු–සාර වී, ගිහි සැප විඳිමින් සිටින ආකාරය භාගින්‍යෙය තෙරුන් වහන්සේගේ සිතෙහි මැවිණි. ඒ අතර ම, තම ගුරු හාමුදුරුවන්ට විඩා සංසිඳෙනු වස් තල්අත්තෙන් පවන් සලමින් සිටියහ. විවාහ වී, දරුවකු ද ලැබ තම බිරිය සමඟ රහතුන් වහන්සේ දැකීමට යන කල, බිරියගේ ප්‍රමාදයකින් දරුවා රථයෙන් බිමට වැටුණ බව භාගින්‍යෙය තෙරුන් වහන්සේ තම සිතින් දුටහ; මනෝලෝකයෙහි වූ ඒ තෙරණුවෝ, එහි ම වූ, බිරියට රථයේ කෙවිටෙන් තැළූහ. සත්‍ය ලෝකයේ වූ භාගින්‍යෙය තෙරුන්ගේ තල්අතු පහර වැදුණේ සංඝරක්ඛිත රහතුන් වහන්සේට ය. සිය බිරියට පහර දීමට බැරි නිසා ද අපට පහර දුන්නේ? කියා රහතුන් වහන්සේ භාගින්‍යෙය තෙරුන්ගෙන් විමසූ විට, මහත් ලජ්ජාවට පත් තෙරණුවෝ සිවුරු හැර දමා යෑමට පැන ගියහ. අවට සිටි වහන්දෑලා භාගින්‍යෙය තෙරණුවන් බුදුන් වහන්සේ වෙත එක්කරගෙන ගියහ. බොහෝ දුර ගමන් ගන්නා සිත සංවර කරගෙන සසර කෙළවර කරගත හැකි බව බුදුන් වහන්සේ භාගින්‍යෙය තෙරුන් ඇතුළු රැස් ව සිටි වහන්දෑලාට වදාළහ. භාගින්‍යෙය තෙරුන් වහන්සේ නැවතත් නිවන් මඟ ගමන් කිරීමෙහි යෙදුණහ.

මෙම භාගින්‍යෙය-සංඝරක්ඛිත කථා වස්තුව බුදුන් වහන්සේ දෙසා වදාළේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර දී ය.

ඉහත සඳහන් කථා වස්තුවෙහි මූලික හරය මෙසේ සඳහන් කළ හැකි ය: ක්ෂණයෙන්–ක්ෂණය ඈත–මෑත විවිධ අරමුණු එක් වරකට තනි එකක් පමණක් ගන්නා සිත, යම් කෙනෙක් සංවර කර සංයමයෙන් තබාගනී ද, ඔහු මාර බන්ධනයෙන් හෙවත් සසර භව දුකෙන් මිදෙයි.

Posted in Uncategorized | 1 Comment

දුක්ඛ සංකල්පයේ දාර්ශනික අර්ථය

6a00d83452366769e200e54f6326e78833-800wiගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ස්වකීය ශ්‍රේෂ්ඨ දර්ශනය ගොඩනැගිම පිණිස උපයෝගී කරගන්නා ලද්දේ සමකාලීන දාර්ශනික චින්තනයේ නොවැදගත් ලෙස පසෙකට වී තිබුණු දුක්ඛ සංකල්පය පිළිබඳ අදහස ය. පෞරාණික දුක්ඛ සංකල්පය වනාහි ආත්මවාදය කේන්ද්‍ර කොටගෙන ගොඩනැගුණක් විය. බුදුන් වහන්සේ එම ආත්මවාදය සපුරා බැහැර කරමින් ගැඹුරුතම අර්ථයක් මත පිහිටා දුක්ඛ සංකල්පය විග්‍රහ කළහ.

එය ඉතා සරල වූවක් ලෙස කල්පනා කරන ඇතැම් විචාරකයෝ දෛනික ජීවිතයේ දී පුද්ගලයා විසින් ඇති කරගනු ලබනු විවිධ ප්‍රාර්ථනා හා අභිමතාර්ථයන් සම්බන්ධයෙන් අනපේක්ෂිත ව ඔහු කරා එළැඹෙන බාධක තුළින් මතු වන සරල ශෝකී ස්වභාවය දුක වශයෙන් හඳුන්වති. එහෙත්, බුදුරදුන් විසින් විග්‍රහ කරන ලද දුක්ඛ සංකල්පය එබඳු සරල වූ පටු අදහසකට කිසි සේත් ම සීමා නො වෙයි. එය පුහුදුන් සත්ත්ව ජීවිතය තුළ පෘථුල ලෙස පැතිර පවත්නා සමස්ථාර්ථය වන්නේ ය.

වරක් බුදුරදුන් වෙත එළඹි අචේල කාශ්‍යපයෝ දුක්ඛ සංකල්පය සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් ඇසූ හ. එහි ඇතුළත් ව ඇත්තේ සමකාලීන දාර්ශනික සමාජය තුළ දුක්ඛ සංකල්පය සම්බන්ධයෙන් පැවති අදහස් කිහිපයකි. හේ බුදුරදුන්ගෙන් මෙසේ විමසී ය:

“භවත් ගෞතමයෙනි, කිම? දුක තමා විසින් (සයංකතං) කරන ලද්දේ ද?”

“කාශ්‍යපය, එසේ නො කියව.”

“භවත් ගෞතමයෙනි, කිම? දුක අනුන් විසින් (පරංකතං) කරන ලද්දක්ද?”

“කාශ්‍යපය, එසේ නොකියව.”

“භවත් ගෞතමයෙනි, කිම? දුක තමා විසිනුත් අනුන් විසිනුත් (සයං කතඤ්ච පරං කතඤ්ච) කරන ලද්දක් ද?”

“කාශ්‍යපය, එසේ නොකියව.”

“භවත් ගෞතමයෙනි, කිම? දුක තමා විසිනුත් අනුන් විසිනුත් නොකරන ලද්දේ, ඉබේ හටගත්තක් (අසයංකාර අපරංකාරං) ද?“කාශ්‍යපය, එසේ නොකියව.”

“භවත් ගෞතමයෙනි, කිම දුක නැත්තේ ද?”

“කාශ්‍යපය, දුක ඇත්තේ ම ය.”

“එසේ නම් භවත් ගෞතම තෙමේ දුක නොදනී ද? නොදකී ද?”

“කාශ්‍යපය, මම දුක නොදන්නේ නොවෙමි. නොදක්නේ නොවෙමි. කාශ්‍යපය, මම දුක දනිමි. මම දුක දකිමි.”

කාශ්‍යප හා බුදුරදුන් අතර සිදු වූ මෙම සංවාදයෙන් සමකාලින දාර්ශනික සමාජය තුළ දුක්ඛ සංකල්පය සම්බන්ධයෙන් තිබූ අදහස් වශයෙන්. සයංකත වාදය, පරංකතවාදය, සයංකත-පරංකතවාදය, අධිච්චසමුප්පන්නවාදය යන මේ වාදයන් නිතර සාකච්ඡාවට භාජන වූ බව පෙනේ. මෙහි පළමු වැන්න වූ සයංකත වාදය සත්කාර්යවාදය යනුවෙන් ද හඳුන්වා තිබේ (විභංග අටුවාව). බුදුහු එය ශාස්වතවාදයට අයත් වූවක් වශයෙන් ප්‍රතික්ෂේප කරන අතර දෙවැන්න උච්ඡේදවාදී වූවක් ලෙස ද තුන් වැන්න ශාස්වත හා උච්ඡේද දෙකෙහි සම්මිශ්‍රණයක් වශයෙන් ද ප්‍රතික්ෂේප කරති. දුක ආකස්මික ව සිදු වන්නේ ය යන සතර වැනි වාදය ද බුදුරදුන් විසින් බැහැර කර තිබේ.

මෙම කරුණු බුදුහු තිම්බරුක පිරිවැජියා හට ද දේශනා කළහ. මේ වාදයන් ශාස්වත හා උච්ඡේද යන අන්තවලට ඇතුළත් වන බව පැහැදිලි කළ බුදු රජාණන් වහන්සේ තථාගත ධර්මය ඒ මේ අන්තද්වයට ම නොවැටී මැදි පිළිවෙත භජනය කරන්නක් බව අවධාරණයෙන් ප්‍රකාශ කළහ (ඒතේ තේ තිම්බරුක උභෝ අන්තේ අනුපගම්ම මජ්ෙක්‍ධ්න තථාගතෝ ධම්මං දේසේති”).
බුදුහු එම මධ්‍යම ප්‍රතිපදා ධර්මය අනුව “අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං… ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති” යනුවෙන් “අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන සංස්ඛාරයෝ වෙති. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙයි. මෙසේ හුදු දුක් රැසෙහි හට ගැනීම වන්නේ ය” යි වදාළහ.

දුක කිසිවකුගේ මුල් වීමෙන් හෝ ඉබේ පහළ වීමෙන් ඇති වන්නක් නො ව, එය ප්‍රත්‍ය හේතුවෙන් හට ගැනෙන්නක් බව මෙම දේශනයෙන් පැහැදිලි වේ. වරක් මේ සම්බන්ධයෙන් උපවාණ හට කරුණු පැහැදිලි කළ බුදු රජාණන් වහන්සේ “පටිච්චසමුප්පන්නං ඛෝ උපවාණ දුක්ඛං” යනුවෙන් දුක ප්‍රතීත්‍යසමුප්පන්න වූවක් බව ප්‍රකාශ කළහ. ඒ අනුව දුක හට ගැනෙන ආකාරය බුදුහු ද්වාදසාංගපටිච්චසමුප්පාදයෙන් හෙළි කළහ. දුක පිළිබඳ සමකාලීන දර්ශනවල ඇතුළත් වූයේ පුද්ගල සංකල්පය මත පිහිටා කරන ලද විවරණ ය. එහෙත්, බුදු රජාණන් වහන්සේ විසින් දුක වශයෙන් සලකන ලද්දේ විශ්වව්‍යාප්ත සමස්ත සත්ත්ව සන්තතියට පොදු වූ මූලික ලක්ෂණය යි. මෙම ගැඹුරුතම අර්ථය පිළිබඳ විස්තර උන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනය වූ “ධම්මචක්කපවත්තන සූත්‍රයෙහි” ලා මෙසේ කෙටියෙන් විස්තර කළහ:

“ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණංපි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්චං න ලහති තම්පිදුක්ඛං සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.”

“ඉපදීම දුක ය, ජරාව දුක ය, ව්‍යාධිය ද දුක ය, මරණය ද දුකය, අප්‍රියයන් හා එක් වීම ද දුක ය, පි‍්‍රයයන්ගෙන් වෙන් වීම ද දුක ය, කැමැති දේ නොලැබීම ද දුක ය. කෙටියෙන් ප්‍රකාශ කරතොත් පඤ්ච උපාදානස්කන්ධය ම දුක ය.”

මේ සියලු දුක් හට ගැනෙන්නේ පඤ්චඋපාදානස්කන්ධය මුල් කරගනිමින්, එය තුළ ම ය. පඤ්චඋපාදානස්කන්ධය ම කෙටියෙන් දුක වශයෙන් හඳුන්වා ඇත්තේ එහෙයිනි. මේ කාරණය ඉතා පැහැදිලි ලෙස බුදු රජාණන් වහන්සේ විසින් අරියපරියේසන සූත්‍රයෙහි ලා විස්තර කොට දක්වා තිබේ.

පඤ්ච උපාදානස්කන්ධය යනු, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පසෙහි එකතුව ය. පුද්ගලයා මෙම පසෙහි එකිනෙකක් පිළිබඳ “රූපං උපාදාය අස්මීති හෝති” (සංයුත්තනිකාය ථේරවර්ගය) “රූපය මම ය මාගේ ය” යි දැඩි ව ගෙන ආත්ම වශයෙන් සැලකීමට පටන් ගනියි. වේදනාදි අනෙක් උපාදානස්කන්ධයෙන් සතර සම්බන්ධයෙන් ද “මම ය මාගේ ය” යන හැඟීමෙන් දැඩි ව ග්‍රහණය කොට “සබ්බං මේති මඤ්ඤති සබ්බං අභිනන්දති” “මේ සියල්ල මම ය මාගේ ය” යි සිතා එය කෙරෙහි අභිනන්දනය කරයි. එසේ එම අභිනන්දනයෙහි පිහිටන ඔහු,

“සෝ ඒවං අයෝනිසෝ මනසිකරෝති. අහෝසිං නුඛෝ අහං අතීතමද්ධානං, නනුඛෝ අහෝසිං අතීතමද්ධානං,… භවිස්සාමි නුඛෝ අහං අනාගත මද්ධානං…”

මෙසේ නුවණින් කල්පනා කරයි. මම අතීත කාලයෙහි වූයේ වෙම් ද, මම අතීත කාලයෙහි නොවූයේ වෙම් ද? මම අනාගත කාලයෙහි වන්නෙම් ද? මෙසේ අතීත අනාගත ආදි කාල සම්බන්ධයෙන් සැකය මුල් කොට සිතා බලන ඔහු “තමා අතීතයෙහිත් වූයේ ය. එසේ ම අනාගතයෙහිත් තමා ම වන්නේ ය” යි නිගමනයකට බැසගනියි. දීඝ නිකායේ පොට්ඨපාද සූත්‍රය විස්තර කරන ආකාරයට පුර්වේනිවාසානුස්මෘතිඥානාදි ඉන්ද්‍රියඥානයන් මුල් කොට අතීතය දෙස බලන අය තමා වෙත නොකැඩී ගලා යන ආත්ම යන්නක් ඇතැයි යන නිගමනයකට බැසගනිති. අනතුරු ව ඔවුහු එම නොකැඩී ගලා එන ‘ආත්ම’ යන්න,

“සෝ ඛෝ පන මේ අයං අත්තා නිච්වෝ ධූවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමං තථේව ඨස්සති.”

“මා සතු මේ ආත්මය වනාහි නිත්‍ය ය, තහවුරු ය, සාර්වකාලික ය, නොපෙරළෙන ස්වභාව ඇත්තේ ය, ශාස්වතිකයන් මෙන් නො වෙනස් ව සිටුනේ ය,” යි ස්ථීර වශයෙන් නොවෙනස් වන අවිනිශ්වර ආත්මයක් ඇතැයි යන මතයේ එල්බගනිති.

පෙරදිග චින්තනය තුළින් බිහි ව ව්‍යාප්ත වූ දර්ශනවාද රැසක් ආරම්භ වූයේ මෙසේ පුද්ගලයා විසින් උපාදානය මුල් කොට ගොඩනගාගනු ලබන මෙම ආත්ම යන මිථ්‍යා සංකල්පය මුල් කරගනිමිනි. එසේ බිහි ව තිබූ අදහස්සියල්ල පිළිබඳ බුදුහු, “ද්වයං නිස්සිතෝ ඛෝයං කච්චාන ලෝකෝ අත්ථිතඤ්චෙව නත්ථිතඤ්ච…”
“කච්චාන, මේ ලෝකයා අස්තිතත්වය (ශාස්වතය) ද නාස්තිත්වය (උච්ජේදය) ද යන මේ දෙකොටස බෙහෙවින් ඇසුරු කළේ වේ,” යි සත්ත්වයා මේ ආත්ම අදහස මුල් කොට කොටස් දෙකකට බෙදී සිටින බව වදාළහ. අනතුරු ව,

“ද්වීහි භික්ඛවේ දිට්ඨි ගතේහි පරියුට්ඨිතා දේව මනුස්සා ඒකේ ඔලීයන්ති ඒකේ අතිධාවන්ති”, “මහණෙනි දෘෂ්ටි ද්වයකින් මඬනා ලද ඇතැම් දෙවි මිනිස් කෙනෙක් ලෝකය ශාස්වත ය යි ගෙන භවයෙහි ඇලෙති. ඇතැම් දෙවි මිනිස් කෙනෙක් ආත්මයත් ලෝකයත් මරණින් මතු නැතැයි ගෙන ධර්මතා පිළිබඳ ව ඉක්මවා යත් (අතිධාවනය කරත්) යනුවෙන් ඔවුන්ගේ ස්වරූපය පැහැදිලි කළහ. “ඒතේ තෙ කස්සප උභෝ අන්තේ අනුපගම්ම තථාගතෝ මජ්ෙක්‍ධ්න ධම්මං දේසේති”.

මේ අන්තද්වයයට නොවැටී මධ්‍යම ප්‍රතිපදාව මුල් කොට සියල්ල විග්‍රහ කරන බුදු රජාණන් වහන්සේ සත්ත්වයා සම්බන්ධයෙන් අවිනශ්වර ආත්මයක් හෝ එහි උච්ඡේදයක් ඇතැයි සැලකීම වැරදි ලෙස දෘෂ්ටි ග්‍රහණය කිරීමක් බවත්, සත්ත්වයා යනු හේතු ප්‍රත්‍යයන්ගේ සමවායයෙන් තැනුණු “සංඛතයක්” පමණක් වන බවත් පැහැදිලි කළහ. “සංඛතය” යනු හේතු ප්‍රත්‍යයන්ගේ එකතුවෙන් නිර්මාණය වූවකි. එහි ස්වරූපය බුදුහු මෙසේ විස්තර කළහ:

“තීනි මානි භික්ඛවේ සංඛතස්ස සංඛත ලක්ඛණානි කතමානි තීනි. උප්පදො පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඨීතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති. ඉමානි ඛො භික්ඛවෙ තිනි සංඛතස්ස සංඛත ලක්ඛනානීති.”

“මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරන ලද්දහුගේ මේ සංඛත ලක්ෂණ තුනකි. කවර තුනක් ද යත් ඉපදීම පැනෙයි, නැස්ම පැනෙයි. සිටියහුගේ වෙනස් වීම පැනෙයි. මහණෙනි, ප්‍රත්‍ය සමවායයෙන් සකස් කරන ලද්දහුගේ මේ සංඛත ලක්ෂණ තුන වේ.”

මෙම දේශනයට අනුව සංඛතය යන්න හටගැනීම, නැසීයෑම, සිටි තත්ත්වයෙන් වෙනස් වීම හෙවත්, විපරිණාමයට පත් වීම යන ලක්ෂණවලින් යුක්ත වන බව පැහැදිලි වෙයි.

ඒ අනුව හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගුණු සත්ත්වයා ද සංඛතයකි. එබැවින් සත්ත්වයා තුළ දැකිය හැක්කේ ද මෙම අනිවාර්යය ලක්ෂණත්‍රය පමණි. එසේ හෙයින් පුද්ගලයා විසින් ඉහත කී ආකාර ඉන්ද්‍රියඥානය මුල් කරගනිමින් ගොඩනගාගෙන ඇති ආත්ම යන්න තුළ නිත්‍ය වූ ශාස්වත වූ අවිනශ්වර පදාර්ථයක් දක්නට නොමැති බවත්, එහි සුවිශේෂයෙන් දැකිය හැක්කේ ඉපදීම, නැති වීම, මොහොතක් පාසා විපරිණාමයට පත් වීම යන ලක්ෂණත්‍රය පමණක් බවත් ප්‍රකාශ වේ.

මෙසේ ආත්ම වශයෙන් ගොඩනගාගත් දෙය වෙනස් වීමට භාජන වේ නම් එය කිසි සේත් නිත්‍ය වූ ස්ථාවර වූ දෙයක් විය නොහැකි ය. නිත්‍ය නො වන්නා වූ මේ සියල්ල අනිත්‍යතාවෙන් පිරී පවතින්නේ ය.

“යද නිච්චං, තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා.”
“යමක් අනිත්‍ය නම් එය දුක ය. යමක් දුක නම් අනාත්ම ය.” යන බුදුරදුන්ගේ මෙම නිර්වචනයෙන් අනිත්‍ය ලක්ෂණය හෙවත් වෙනස් වීමට භාජන වීම ම දුක්ඛ සංකල්පයෙන් අවධාරණය කරනු ලබන ගැඹුරුතම වූ ඒකායන අර්ථය බව පැහැදිලි වේ. බුදුන් වහන්සේ විසින් විෂයලෝකය හා බැඳුණු සමස්ත සත්ත්ව සන්නතිය තුළ යථාර්ථය වශයෙන් දකින ලක්ෂණය මෙම විපරීණාමයට පත් වීම යි. එයින් පැනනැගෙන අනිවාර්ය ප්‍රතිඵලය ‘දුක්ඛය’ වශයෙන් හඳුන්වා ඇත්තේ ය.

ස්කන්ධ පඤ්චකය මුල් කොටගෙන පුද්ලත්වාරෝපණයෙන් ගොඩනගාගනු ලබන මේ ‘ආත්ම’ යන්න අවිනශ්වර වූ අවිපරිණාමී පදාර්ථයක් නොවන බව මෙයින් මැනවින් පැහැදිලි කැරෙයි. ඉහත කී සංඛත ලක්ෂණ විස්තරයේ “ඨීතස්ස අඤ්ඤත්ථං පඤ්ඤයතී” යනුවෙන් දක්වන ලද්දේ පුද්ගලයා තුළ මෙසේ මොහොතක් පාසා සිදු වන විපරිණාමයට පත් වීමේ ලක්ෂණය මිස ඉපදීමත් මරණයත් අතර දීර්ඝකාල පරිච්ඡේදය තුළ සිදු වන දිරීමට (ජරාවට) පත් වීමේ ස්වභාවය ම නො වේ.

අප පුද්ගලයා වශයෙන් හඳුන්වනු ලබන්නේ ක්‍රියා සන්තතියකි. එම ක්‍රියා සන්තතිය ගොඩනැගෙන්නේ ‘නාම-රූප’ වශයෙන් කොටස් දෙකකට බෙදෙන ස්කන්ධ පඤ්චකය තුළ ය. එය සමූහයක එකතුවක් මිස ආත්මීය වශයෙන් ගත යුතු පුද්ගලයෙක් හෝ දෙයක් නො වේ. එහි මොහොතක් පාසා ඉහත කී විපරණාමයට පත් වීමේ ලක්ෂණය පැතිර පවතියි. එම වෙනස් වීම නිසා පැනනැගෙන ගැටුම දුක වශයෙන් අවධාරණය කොට තිබේ. “සංඛිත්තේන පඤචුපාදානක්ඛන්ධා දුක්ඛා” යයි සැකෙවින් පඤ්ච උපාදාන ස්කන්ධය ම දුක ය යි විස්තර කරන ලද්දේ මෙම යථාර්ථාවාදී වූ අදහස බව පැහැදිලි ය.

මෙසේ බුදුසමයෙහි විග්‍රහ වන මෙම දුක්ඛ සංකල්පයෙන් එතෙක් ප්‍රාග් බෞද්ධ යුගයේ ඈත අතීතයේ සිට භාරතීය චින්තනයෙහි නොයෙක් ආකාරයෙන් විකාශනය වෙමින් හා පරිපෝෂණය වෙමින් ආ ‘ආත්මය’ පිළිබඳ අයෝමය අදහස සපුරා ඛණ්ඩනය වී ගියේ ය. සැබැවින් ම බුදුන් වහන්සේ විසින් දුක්ඛ සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ බමුණු චින්තනයේ මූලික පදාර්ථය වූ ආත්මවාදයට එල්ල කරන ලද පිළිතුරක් වශයෙනි. එහි පරිපූර්ණ හරය රඳා ඇත්තේ මෙම දුක්ඛ සංකල්පය විග්‍රහ කරමින් එයට ඉදිරිපත් කර ඇති හේතුඵලවාදී වූ සදාකාලික සත්‍යය ලෙස හැඳින්වෙන යථාර්ථවාදී පිළිතුරු මත ය.

Posted in Uncategorized | Tagged , , , , | Leave a comment

පස්වග තවුසෝ

buddhaanddisciplesධම්මචක්කප්පවත්තන සූත්‍රය මුලින් ම ඇසූ මිනිස්සු පස් දෙනෙකි. ඒ පස්දෙන හඳුන්වන්නේ ‘පස්වග තවුසන්’ නමිනි. මේ පස්දෙන ‘භික්ෂූන්’ වූයේ දම්සක් අසා දින කිහිපයකට පසු ව ය. එහෙයින් කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන මේ පස් දෙන බුදුන්ට හමු ව, පළමු දම් දෙසුම ශ්‍රවණය කරන මොහොත ගැන කරන විස්තරයේදී ‘තවුසන්’ යන නම ම සුදුසු ය.

මේ පස්දෙනා අතරින් කොණ්ඩඤ්ඤ කපිලවත්ථුව අසල පිහිටි දෝනවත්ථු නම් ගමේ ධනවත් බ්‍රාහ්මණ මහාසාර පවුලක පුත්‍රයෙකි. සිදුහත් කුමරුවන්ට පෙර උපන්නෙකි. කොණ්ඩඤ්ඤ යනු පවුලේ ගෝත්‍ර නාමය යි. වේදත්‍රය මැනවින් ප්‍රගුණ කළ ඔහු පුද්ගලයන්ගේ මුහුණෙහි ලක්ෂණ බලා අනාවැකි පළ කිරීමේ විශේෂඥයෙක් විය. සිදුහත් කුමරු සඳහා වූ නාමකරණ මංගල්‍යයේ දී සුදොවුන් රජ විසින් කැඳවන ලද බමුණන් අටදෙනාගෙන් වයසින් බාල ම තැනැත්තා වූයේ මොහු ය. සිදුහත් කුමරු ඒකාන්තයෙන් බුදු වන බව කීවේ
ද මොහු ය. ඉන් පසු සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මෙන තුරු බලා සිටි ඔහු මහාබිනික්මනෙන් පසු තවත් හතරදෙනකු සමග වනගත ව, බුදුරදුන් උදෙසා තවුස්දම් රැක්කහ. ‘පස්වග තවුසෝ’ යන නමින් හැඳින්වෙන්නාහු මේ පිරිස ය.

භාග්‍යවතුන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනය පවත්වන්නේ කවුරුන්ට දැ යි සිතා ආලාර කාලාම, උද්දකරාම පුත්‍ර ආදීන් ගැන සලකා, ඔවුන් මියගොස් ඇති බැව් දැන අවසන බරණැස ඉසිපතනයේ මිගදායේ වැඩසිටි මේ පස්වග තවුසන් කරා වැඩ දම්සක් දේශනාව පැවැත්වූ හ.

මිනිසුන් අතරින් ධර්මයෙහි පැහැදී ධර්මය අවබෝධ කරගත් පළමුවැන්නා වූ බැවින් බුදුහිමියෝ ඔහුට ප්‍රශංසා කරමින්, ‘අඤ්ඤා කොණ්ඩඤ්ඤ’යැ යි දෙවරක් ම ආමන්ත්‍රණය කළහ. එතැන් සිට ඔහු ‘අඤ්ඤා කොණ්ඩඤ්ඤ’ නම් වි ය. දින හතකට පසුව පවත්වන ලද අනත්තලක්ඛණ ධර්ම දේශනාවෙන් පසු අර්හත්වයට පත් ප්‍රථමයා ද, මෙම බුද්ධ ශාසනයේ ප්‍රථමයෙන් ම ‘ඒහි භික්ෂු’ භාවයෙන් පැවිදි උපසම්පදාව ලද්දාහු ද උන් වහන්සේ ම ය. භික්ෂු සංඝයා රැස් වන වේලාවට අගසවු දෙදෙන හට පිටුපසින් වාඩි වන්නාහු මේ කොණ්ඩඤ්ඤ හිමියෝ ය.

කොණ්ඩඤ්ඤ හිමියන් මේ තත්ත්වය ලබාගන්නට මුල පිරුයේ පදුමුත්තර බුද්ධ කාලයේ ය. පදුමුත්තර බුදුරජුන් ඉදිරියේ එක් භික්ෂුවක් ජ්‍යෙෂ්ඨ තත්ත්වයෙන් මුල් තැනට පත් කරනවා බලා සිටි ඔහු තමන් ද කවර දා හෝ මේ තත්ත්වයට පත් වන්නෙමි යි අධිෂ්ඨාන කළේ ය. පදුමුත්තර බුදුන් දවස, කොණ්ඩඤ්ඤ හංසවතී නුවර ඉතා ධනවත් පවුලක උපත ලබා සිටියේ ය. තමන් අධිෂ්ඨාන කළ අරමුණ සපුරාගැනීම සඳහා හෙතෙම බොහෝ පින් දහම් කළේ ය.

කොණ්ඩඤ්ඤ තෙරණුවෝ බුදුහිමියන්ගේ නියමය අනුව සසුන දියුණුවට පත් වන තෙක් චාරිකාවේ යෙදෙමින් ධර්මය දේශනා කළ අතර, සඟසසුන දියුණු වී ස්ථාවරත්වයට පත් වීමෙන් පසු ව භාග්‍යවතුන් වහනසේගේ පූර්ව අනුමැතිය ඇති ව ඡද්දන්ත වනය තුළ මන්දාකිණි නදී තෙර ස්ථිර වාසය විය. පුණ්ණ මන්තානි පුත්ත තෙරණුවෝ කොණ්ඩඤ්ඤ හිමියන්ගේ බෑනා ය. ඔහු පැවිදි කරන ලද්දේ ද කොණ්ඩඤ්ඤ හිමියන් විසිනි. කොණ්ඩඤ්ඤ හිමියන් ඡද්දන්ත වනයේ වැඩ සිටිද්දී උන් වහන්සේට ඇප–උපස්ථාන කරන ලද්දේ අලි ඇතුන් ආදි වනයේ සතුන් විසිනි. කොණ්ඩඤ්ඤ හිමියන් නැවත බුදුන් දකින්නට ආවේ මහණ වීමෙන් දොළොස් වසරකට පසු ව ය. ඒ ආවේ ද පිරිනිවන් පාන්නට සූදානම් ව තථාගතයන් වහන්සේට අවසන් වරට නමස්කාර කරනු පිණිස ය.

බුදු පා පියුම් වැඳ නැවත ඡද්දන්ත වනයට වැඩම කළ කොණ්ඩඤ්ඤ හිමියෝ එහි දී පිරිනිවන් පෑ හ. අනුරුද්ධ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් භික්ෂූහු පන්සියයක් ආදාහනයට සහභාගී වූ හ. කොණ්ඩඤ්ඤ හිමියන්ගේ දේහය ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වූ ධාතූන් වහන්සේලා අනුරුද්ධ හිමියන් විසින් ගෙනැවිත් බුදුරදුන්ට දුන්හ. වේළුවනයේ දී ඒ ධාතූන් භාරගත් බුදුහු ඒවා චෛත්‍යයක් තුළ තැන්පත් කළහ.

පස්වග තවුසන්ගෙන් දෙවැන්නා වප්ප නමි. කපිලවස්තු පුරයේ වාසෙට්ඨ බ්‍රාහ්මණයාගේ පුත්‍රයා ය. කොණ්ඩඤ්ඤ බමුණාණන් සමඟ ම තථාගතයන් උදෙසා තවුස් පැවිද්දෙන් පැවිදි විය. සිද්ධාර්ථ තාපසයන් දුෂ්කරක්‍රියා කරන සමයේ සමීපයෙන් ම සිටියේ වප්ප තවුසා ය. අත්තකිලමථානුයෝග දුෂ්කර ක්‍රියාව අත්හැර, සිද්ධාර්ථ තාපසයන් ආහාර වළඳන්නට පටන් ගත් නිසා, වප්ප තවුසා අනෙක් සතර දෙනාත් සමඟ බෝසතුන් අතහැර මිගදායට ගියේය. පසු ව බුදුහාමුදුරුවන් මිගදායට වැඩම කර ධම්මචක්ක සූත්‍රය දෙසීමෙන් අනතුරු ව අනත්ත ලක්ඛණ සූත්‍රය දෙසූ දා වප්ප තවුසා රහත් විය. ඉක්බිති ව බුදුසසුනේ මහණ උපසම්පදාව ලදහ. වප්ප හිමියන් ද පදුමුත්තර බුද්ධ කාලයේ ඉපිද, අනාගත බුදුවරයකුගේ පළමු ශ්‍රාවක කණ්ඩායමේ සගයකු වන්නට ප්‍රාර්ථනා කර ඇත.

පස්වග තවුස් පිරිසේ තුන්වැන්නා වූ භද්දිය තවුසාණන් ගැන විස්තරයක් ත්‍රිපිටකයේ සඳහන් ව නැත.

පස්වග තවුසන්ගෙන් සතරවැන්නා මහානාම නමි. හෙතෙම දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් දින තුනකට පසු සෝවාන් වී, පසු ව අනත්තලක්ඛණ සූත්‍රය ශ්‍රවණය කර රහත් බවට පත් විය. මහානාම හිමියන් මච්ජිකාසණ්ඩයට වැඩමවූ අවස්ථාවක උන් වහන්සේ දුටු චිත්ත ගෘහපති පැහැදී දන් දී බණ අසා වඩාත් ප්‍රසාදයට පත් වී අම්බකා වනය මහානාම හිමියන්ට පුදා, එහි අතිවිශාල විහාරාරාම කරවා පූජා කර ඇත. මහානාම හිමියන් වැඩි කල් වාසය කර ඇත්තේ එහි ය.

පස්වග තවුස් පිරිසේ පස්වැන්නා අස්සජි නම් වෙයි. මේ පිරිසෙන් අවසනට සෝවාන් වූයේ අස්සජී ය. අස්සජි හිමියන් හා සම්බන්ධ වැදගත් ම කරුණ නම් පසු ව බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවක ධුර ලද උපතිස්ස කෝලිත තරුණයන් දෙදෙනාට බුදු දහම පිළිබඳ පැහැදවීම ඇති කළේ උන් වහන්සේ වීම ය.

පස්වග තවුසෝ බ්‍රාහ්මණ ධර්මයට අනුව ආත්මවාදය ඉතා තදින් ම වැලඳගෙන සිටි පිරිසකි. දම්සක් සූත්‍ර දේශනාවෙනුත්, ඉන් පසු ව බුදුහාමුදුරුවන් තනි තනි ව ඔවුන් හට අවවාද ධර්ම දේශනා කිරීමෙනුත් රහත් කරන්නට නුපුළුවන් වූයේ ඒ ආත්මවාදී දෘෂ්ටිය නිසා ය. ඔවුන්ගේ ඒ ආත්මවාද දෘෂ්ටිය පහ ව ගියේ අනාත්ම ලක්ඛණ සූත්‍ර දේශනාව අවබෝධ කිරීමෙනි

Posted in Uncategorized | Tagged , , | Leave a comment

කයෙන් එහා…

Image-of-life-and-Death-Dornai_01මගේ සිරුරත් මොහොතින් මොහොත වෙනස් වෙමින් යනවා. ළදරු කාලයේ, ළමා කාලයේ, තරුණ වයසේ, වැඩිහිටි වයසේ පින්තූර එකින් එකට සසඳා බලද්දී ළදරු වියේ තිබුණු රූපයට වඩා හාත්පසින් ම වෙනස් රූපයක් බවට එය මෙලෙස පත් ව තිබෙනවා. දින, සති, මාස, අවුරුදු ගණන්වලින් කාලය ගෙවී යද්දී උස-මහත, හැඩ-රුව ආදි ශරීරයේ සියලු අඟ-පසඟවල බාහිර පෙනුම වෙනස් වෙමින් ඇවිත්. ළදරු විය ඉක්මවා ගොස් ළමා විය එළැඹෙන විට සමේ ඇති සියුමැලි බව නැති ව යනවා. ඊළඟට තරුණ විය පැමිණෙන විට ශරීරයේ ඇති ශක්තිමත් බව, බාහිර පෙනුම, නීරෝගි බව ආදි මේ සියලු දේ නිසා සිතට පවා මහා උද්යෝගීමත් ක්‍රියාශිලී බවක් ඇති වෙනවා. එහෙත් මේ සියලු දේ අනිත්‍යයට යන දේවල්.

තරුණ වියේ තිබුණු පැහැපත් බව, ශරීර ශක්තිය, නීරෝගි බව, ක්‍රියාශිලී බව මේ සියල්ල ක්‍රමයෙන් නැති වෙමින්, වැඩිහිටි වියට පැමිණෙන, මේ ගෙවී යන වැඩිහිටි වයසත් තව අවුරුදු කිහිපයකින් ගෙවී යද්දී මහලු වියට පත් වේවි. සිරුරේ ශක්තිමත් බව වෙනුවට අප්‍රාණික බව ඇති වේවි. නීරෝගි බව වෙනුවට ලෙඩ-දුක් එන්න-එන්න ම වැඩි වේවි. මොහොතින් මොහොත මරණය මා කරා ළං වන දිනය පැමිණේවි. මරණයෙන් ගැලවෙන්න කිසිවකුට හැකියාවක් නැහැ. ඉපදුණ සියලු සත්ත්වයා මරණයට පත් වෙනවා. මරණය දුකක්. එය බුදු පියාණන් පෙන්වා දී තිබෙනවා. ලෝකයේ පහළ වූ සියලු බුදු රජාණන් වහන්සේලාගේ ජීවිත පවා පිරිනිවීමෙන් අවසන් වුණා. ඉපදීම නිසා ම යි මරණ දුක ලැබෙන්නේ. ඉපදීම, ලෙඩවීම, මහලු වීම, මරණය, කැමති දේ නොලැබීම මේ සියල්ල දුකක් බව බුදුන් වහන්සේ මුල් ධර්ම දේශනයේ දී ම පෙන්වා දී තිබෙනවා.

ගෙවී ගිය කා
ලය තුළ දී මගේ ශරීරයට වැලඳුණ රෝග පීඩාවන් නිසා දුක් විඳි වාර ගණන කොපමණ ද? ශාරීරික පීඩාවන් නිසා ලැබුණ මානසික වේදනාව ඊටත් වඩා වැඩියි. ලෙඩ රෝග නැති ව ඉන්න කොපමණ කැමති වුණත් එය එසේ වන්නේ නැහැ. අද ලංකාවේ රෝහල්වල පමණක් නොයෙක් අසාධ්‍ය රෝග-පීඩාවන්ගෙන් දුක් විඳින ජනතාව කොපමණ සිටිනවා ද? පිළිකා රෝහලේ මරණය පෙනි-පෙනී සිතින් දුක් විඳින, වේදනාවෙන් මිරිකී ජීවත් වන අසරණ රෝගීහු කොපමණ ද? ඒ වගේ ම අංශභාගය, මොළයේ ගෙඩි, භයානක උණ, හදිසි අනතුරු ආදියෙන් දුකින් දුකට පත් ව මරණයට මුහුණ දෙන අය කොපමණ ද? පුංචි ම පුංචි මදුරුවකුට වුණත් මේ ශරීරය මරණයට පත් කරන්න පුළුවන්. ඒත් එය අපට ඕනෑ විදියට පවත්වාගෙන යන්න පුළුවන්කමක් නැහැ. ලෙඩ-රෝග නවත්වන්න බැහැ. වයසට යන විට ශරීරය ජරාවට පත් වීම නවත්වන්න බැහැ.

හැබැයි ජරාව දකින්නට මහලු වයස එන්නම ඕනෙ නැහැ. කුඩා කාලයේ පටන් ඕනෑ ම වයසක දී ලෙඩ-දුක් නිසා ජරාව අප කරා ළං වෙනවා. සමහර අංගවිකල දරුවන් ඉපදුණ දවසේ පටන් අවුරුදු විස්සක් විතර ජීවත් වුණත් තමන්ගේ ඔළුව උස්සාගන්න වත් බැහැ. පෙර කළ අකුසල කර්මවල විපාක නිසා වැඩිහිටියන්ගේ උපකාරය නැත් නම් ඒ අයට මල-මූත්‍ර ගොඩේ ම වැතිර ඉන්න සිදු වෙනවා. මේ ශරීරය පෙර කළ කර්මවලට අනුරූප ව සකස් වුණ දෙයක්. අපට ඕනෑ විදියට වෙනස් කරන්න බැහැ. ඉපදෙන විට ම අන්ධ වෙලා, නැත් නම් අතපය කොර වෙලා, මන්දබුද්ධික වෙලා, ගොළු වෙලා, බිහිරි වෙලා, මෙලොවට බිහි වෙන්න පුළුවන්. මෙවැනි උපතක් ලැබීම මොන තරම් දුකක් ද?

ඒ වගේ ම මතුපිට සම නිසා කෙනෙකු ඉතා ලස්සන කෙනකු වෙන්න පුළුවන්. ඒත් සම ඇතුළු පැත්තේ තිබෙන සියලු දේ දුගඳ හමන අපවිත්‍ර දහජරා ගොඩක්. තමන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් දුගඳ හමන කුණු කයක් බව, වක්කලී හිමියන් බුදු සිරුර දෙස ආශාවෙන් බලා සිටින විට බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. අඨවි, ආපෝ, තේජො, වායෝ යන සතර මහා ධාතූන්ගෙන් නිර්මාණය වුණ මේ ශරීරයේ සෑම කොටසක් ම අපවිත්‍ර, පිළිකුල් සහගත දෙයක් ම යි. ලෙඩ-රෝගවලට බඳුන් වෙනවා. අනිත්‍යයෙන් අනිත්‍යයට යන දුක් ලබා දෙන දෙයක් ම යි. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, ප්ලීහාව, පෙණහලු, මහ බඩවැල, කුඩා බඩවැල, නොදිරවූ ආහාර, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේදය, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳ මිදුළු, මූත්‍ර යන කුණප කොටස් තිස්දෙකෙන් මේ ශරීරය සැදී තිබෙන බව බුදු පියාණන් පෙන්වා දී තිබෙනවා. මේ සියලු කොටස් බෙහෙවින් අපවිත්‍ර, පිළිකුල් දේවල් ම යි. මේ සැම කොටසකින් ම එකිනෙකට වෙනස් දුර්ගන්ධයන් හමනවා.

කුඩා අවධියේ පටන් මේ දක්වා ඒ සැම ශරීර අංගයක් ම මෝරායමින් දිරාපත් වන ස්වභාවයට ළං වෙමින් තිබෙනවා. තරුණ වියේ දී පැහැපත් ව නීරෝගි ව පෙනුණ කෙස් කලඹ සුදු පැහැය ගනිමින්, එකින් එක ගැලවෙමින් දිරා යන බව, අනිත්‍ය බව පෙන්නුම් කරනවා. දත් ටික මෝරා ඇදෙන්නට පටන් අරගෙන, සමහර දත් කැඩී යනවා. කුඩා කාලයේ ලස්සනට රෝස පැහැයට තිබුණු නියපොතු කහ පැහැයට හුරු බොර පැහැයක් ගැන්විලා. සමේ නහර වැල් මතු වෙමින්, රැලි වැටෙන්න පටන් අරගෙන… මෙහෙම පිටට පෙනෙන දේවල් වගේ ම ඇතුළත අවයව සියල්ලත් මෝරා යමින් දිරාපත් වන කාලය ළං වෙමින් තිබෙන බව හැඟෙනවා. ලෙඩ-රෝග එන්න එන්න ම වැඩියි. තරුණ වියේ දී තිබුණු ශරීර ශක්තිය හීන වෙලා. ශාරීරික දුක්-වේදනා එන්න එන්න ම වැඩි යි. ශරීරයේ සැම කොටසක් ම මොහොතින් මොහොත වෙනස් වෙනවා. මෝරා යනවා.

අනිත්‍යයට යන බව හඟවනවා. මරණයට මොහොතින් මොහොත ළඟා වෙනවා. මරණයට පත් වූ සිරුරත් වෙනස් වෙනවා. සම, මස්, නහරවැල් දිය වෙනවා. කුණු වෙමින් පණුවන් ගහනවා, ඇට කටු ටික පමණක් ඉතිරි වෙනවා. ඇටසැකිල්ලත් දිරා පත් ව මහ පොළොවට පස් වී පොළොවේ පසටම එකතු වෙනවා. ආපෝ ධාතුව (වැගිරෙන ජල කොටස්) පොළොවේ ජලයට එක් වෙනවා. තේජෝ ධාතුව (උණුසුම) බාහිර උණුසුමට එක් වෙනවා. ශරීරයේ ඇති වාතය බාහිර වාතයට එක් වෙනවා. අඨවි ධාතුව (තද ගතිය ඇති දේ) පොළොවේ පඨවියට එක් වෙනවා. එවිට ශරීරයක් ඇත්තේ නැහැ. මම, මගේ හැටියට කිසිවක් ඉතිරි වන්නේ නැහැ. හිස් බවක් පමණ යි ඉතිරි වන්නේ.

මෙය මගේ ශරීරයට පමණක් සිදු වන දෙයක් නො වෙයි. සැම සත්ත්වයකුගේ ම මරණයෙන් පසු ව ශරීරයක් ඉතිරි නොවී ඒ සියලු දේ ම බාහිර සතර මහා ධාතුන්ට ම එකතු වෙනවා. ඉතිරි වන කිසිවක් නැහැ. මගේ දෙයක් නම් මරණය නවත්වන්න නැති වෙන්න ඕනේ. ලෙඩ වීම, වයසට යෑම, මරණය නවත්වන්න බැහැ. මැරුණු ශරීරයත් කුණු වී මහ පොළොවට පස් වී යන තුරු ම වෙනස් වෙනවා. මේ අනිත්‍යයට යෑම නවත්වන්න බැහැ. කුඩා බිලිඳකු ළමයකු වෙන්නේ අනිත්‍යයට යන නිසයි. ළමයකු තරුණයකු/තරුණියක වන්නේ, තරුණ බව නැති වී වැඩිහිටියකු වන්නේ, වැඩිහිටි බව නැති වී මහලු වයසට යන්නේ, මරණයට පත් වන්නේ මේ අනිත්‍යයට පත් වීම නිසා ම යි.

මේ ශරීරය මට අවශ්‍ය කාලයක් දක්වා පවත්වාගෙන යන්න බැහැ. කුඩා කාලයේ දී, ළමා කාලයේ දී, තරුණ වියේ දී මැරෙන්න පුළුවන්. සමහර විට මව් කුස තුළ දී ම නැත් නම් ඉපදුණ ගමන් ම මැරෙන්න පුළුවන්. මරණයට දිනයක්, වේලාවක්, නියමිත වයසක්, ස්ථානයක් නැහැ. ඕනෑ ම වයසක දී ඕනෑ ම තැනක දී මැරෙන්න පුළුවනි.

ඒ වගේ ම මේ ශරීරයට ඇති වන වේදනාවන් නවත්වන්න බැහැ. කූඹියකු, මදුරුවකු කෑවත් දැනෙන වේදනාව මට ඕනැ විදියට නවත්වන්න බැහැ. තද රස්නය නිසා ශීතල නිසා ශරීරයට වේදනා ලැබෙනවා. සමහර රටවල ශීතල, උෂ්ණය දරාගන්නට නොහැකි ව මිනිසුන් සිය දහස් ගණන් මැරෙනවා. විෂඝෝර සතුන් දෂ්ට කිරීම නිසා තද වේදනා විඳින්න සිදු වෙනවා. ඇතැම් විට මරණය පවා සිදු වෙනවා. කැලෑබඳ පළාත්වල ජීවත් වෙන අය වල් සතුන් නිසා නොයෙක් හිරිහැර පීඩාවන්ට පත් වෙනවා.

නොයෙක් බරපතළ ලෙඩ දුක් නිසා මේ ශරීරයට දරන්නට අපහසු දුක් ලැබෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ මේ ශරීරය අනිත්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, අශුභ වශයෙන්, දකින ආකාරය පෙන්වා දී තිබෙනවා. ඒ වගේ ම ශරීරයේ බොහෝ ආදීනව ඇති බව පෙන්වා දී තිබෙනවා. එහි දී මේ සිරුරට වැලදෙන ලෙඩ-රෝග නිසා සත්ත්වයා දුකින් දුකට පත් වෙන බව පෙන්වා දී තිබෙනවා. මනුෂ්‍යයකුට නම් කාගේ හරි උපකාරයක් සැප-සාත්තුවක් ලබාගන්න පුළුවනි. බෙහෙතකින් යම් තරමකට හෝ වේදනා අඩු කරගන්න පුළුවනි. ඒත් තිරිසන් සතුන්, කැලෑවල ජීවත් වන කෝටි ගණන් සතුන් ලෙඩ දුක් නිසා අනන්තවත් දුක් විඳිනවා. නිරාහාර ව මිය යනවා. තමන්ට වඩා ජව සම්පන්න සතුන්ගේ හිරිහැර-පීඩාවලට ලක් වෙනවා.

මේ සියලු දුක් ඇති වන්නේ ඉපදීම නිසයි. ඉපදීම නිසා ශරීරයක් ඇති වෙනවා. ශරීරයත් සමඟ ම බද්ධ වී පවතින සිත නිසා සිරුරට ඇති වෙන සියලු සැප, දුක්, උපේක්ෂා වේදනා දැනෙනවා. සිත අක්‍රිය ව පවතින වේලාවක සිරුරට මොන ම හානියක් වුණත් දැනෙන්නේ නැහැ. සිත තිබෙන නිසා තමයි ශරීරය ඇති බව දැනෙන්නේ. ශල්‍යකර්මයක දී සිත ක්‍රියාත්මක නොවන නිසා ශරීරයේ අඟ-පසඟ ඉවත් කළත් දැනෙන්නේ නැහැ. නැත් නම් සිරුරට කූඹියෙක්, මැස්සෙකු, මදුරුවෙකුගේ ස්පර්ශය පවා දැනෙනවා. සිරුර පුරා ම විසිරී පවතින, මොළය හා සම්බන්ධ ස්නායු පද්ධතිය නිසා ඉතා කුඩා ස්පර්ශයක් වුණත් දැනෙනවා. විදුලි රැහැන්වලින් ක්ෂණයකින් විදුලිය ගමන් කරන්නා සේ මොළය දක්වා දිව යන ස්නායුවලින් ක්ෂණයකින් පණිවිඩ හුවමාරු වෙනවා. ඒ නිසා ක්ෂණයකින් ශරීරයේ ඕනෑ ම තැනකට සිදු වන ඕනෑ දෙයක් දැනෙනවා. අංශභාග රෝගය වගේ අසනීපයක දී ස්නායු ශක්තිය දුර්වල වීම නිසා අත-පයවල ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා; හිරි වැටෙනවා. එවිට ශරීරයේ එම කොටස් තිබුණාට දැනෙන්නේ නැහැ.

කයත්, බාහිර රූපයත් කාය විඤ්ඤාණයත් නිසා කාය සම්පස්සය ඇති වෙනවා. ස්පර්ශය හඳුනාගන්නා ආකාරයට අනුව සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. හොඳ සීතල සුළං රැල්ලක් ඇඟට ස්පර්ශ වෙන විට සැප සහගත වේදනාවක් දැනෙනවා. වේදනා පච්චයා තණ්හා. ඒ සුවයට ආශා කරනවා. නැවත ඒ සුවය විඳීමට සිතින් කැමැත්තක් ඇති වෙනවා. තණ්හා පච්චයා උපාදානං. උපාදානය හෙවත් සිතින් ඇති වන තද කැමැත්තට අනුව සිතිවිලි ඇති වෙනවා. ඒ සිතිවිලිවලට නැවත නැවත බැඳෙනවා.

ඒ වගේ ම තද රස්නය වේලාවක දී සිරුරට අපහසුවක් දැනෙනවා. එවිට දුක් සහගත සිතිවිලි ඇති වෙනවා. රස්නය ගැන නුරුස්නා සිතක් ඇති වෙනවා. ඒ අනුව අකුසල් සිතිවිලි ඇති වෙනවා. හේතුව ඇති වන විදියට සැප, දුක්, උපේක්ෂා වේදනා ඇති වෙනවා. හේතුව නැති වී යන විට එයට අනුරූප ව ඇති වූ වේදනාවත් නැති ව යනවා. සිරුරට දැනෙන සැපය නිසා සතුටත්, දුක නිසා අසතුටත් වගේ ම මැදහත් සිතිවිලිත් ඇති වෙනවා. මේවා අපට අවශ්‍ය විදියට පාලනය කරන්න හෝ නවත්වන්න බැහැ.
සිත ක්‍රියාත්මක ව පවතින තුරු සිරුරට ඇති වන සියලු සැප, දුක්, උපේක්ෂා ස්පර්ශයන් නිසා ඒ අනුව විඳීමත්, සිතුවිලි සකස් වීමත් නවතින්නේ නැහැ. හේතූන්ට අනුව සකස් වන හේතූන් නැති ව යන විට නැති වී යන පටච්ච සමුප්පන්න, ධර්මතාවක් පමණ යි. සිත ඉවත් ව ඇති නිසා මළ මිනියකට ඒ කය ඇසුරු කරගෙන කිසි ම දුකක් ඇත්තේ නැහැ. භාවනාවක් කරන විට ගැඹුරු සමාධිමත් අවස්ථාවක දී සිරුර නොදැනී යනවා. එවිට පුදුම සැහැල්ලුවක් ඇති වෙනවා. සමාධියෙන් මිදෙන විට නැවත ශරීරය දැනෙන්න පටන් ගන්නවා. ඒ විගස ම අර තිබුණ සැහැල්ලු සුවය නැති වී දුකක්, අපහසුවක් ඇති වෙනවා.

සිරුරේ සියලු දුක් සිත පවතින නිසා දැනෙන බව, විඳින්නට සිදු වන බව එවිට වැටහෙනවා. එනිසා මේ සිතේ පැවතීම නිසා ම යි කයට ඇති දුක් දැනෙන්නේත්. සිතත් කයත් දෙකේ පැවතීම ම යි දුක. පංච උපාදාන ස්කන්ධය පහළ වීම ම දුකක් බව බුදු පියාණන් පෙන්වා දී ඇත්තේ ඒ නිසා ම යි. සිතත්, කයත් නොපැවතීම ම යි සැපය. සැප වේදනාවක් වුණත් එය හැම විට ම පවතින්නේ නැහැ; අනිත්‍යයට යනවා. ඒ අනුව ඇති වන සිතිවිලිත් එලෙසින් ම නැති ව යනවා. දුක් වේදනාවත් හැම මොහොතේ ම එක විදියට පවතින්නේ නැහැ. වෙනස් වෙනවා. නැති ව යනවා. ඒ අනුව ඇති වන සිතිවිලිත් නැති ව යනවා.

ජීවිත කාලය පුරා විඳින ලද සැප, දුක්, උපේක්ෂා වේදනා සියල්ල මේ මොහොත වන විට නැති ව ගිහිං ඉවරයි. දැන් මේ මොහොතේ දැනෙන වේදනාවත් ක්ෂණයකින් නැති වෙනවා. ඒ සිතිවිලිත් ඒ මොහොතේ ම නැති වෙනවා. ඉතිරි වන කිසිවක් නැහැ. මැරෙන විට ඒ මොහොතේ ඇති වන වේදනාවත්, ඒ සිතිවිලිත් කුමක් වුණත් මේ ශරීරය එතැන දී අත්හැරදමා යනවා. ජීවිත කාලය පුරා ම මම මගේ කියා සිතූ සිරුර අත්හැරදමන්නට සිදු වෙනවා. ඉන් පසු ව ඒ තිබුණු කය ඇසුරු කරගෙන ඇති වූ වේදනා නැවත ඇති වන්නේ නැහැ. ඒ ලෙසින් ඒ කය ඇසුරු කරගෙන නැවත සිතිවිලි සකස් වෙන්නේත් නැහැ. එහෙත් මැරෙන මොහොතේ ඇති වූ අවසාන සිතිවිල්ලට අනුව ඊළඟ ප්‍රතිසන්ධිය ඇති වෙනවා.

මගේ පියා, මව, නෑදෑහිතවතුන් මරණයට පත් වුණා. ඒ අයගේ මතකය පමණ යි අද ඉතිරි ව ඇත්තේ. ඒ අයගේ සිරුරු සියල්ල පොළොවට එක් වුණා. බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ආදාහනයෙන් පසු ව ඉතිරි ව ඇත්තේ අස්ථි ධාතු කිහිප නමක් විතර යි. අද අපට වන්දනා-මාන කරන්නට ඒවා ඉතිරි ව ඇතත් බුද්ධ දේශනයට අනුව මේ බුද්ධ ශාසනය අවසානයේ දී ඒ අස්ථි ධාතුන් වහන්සේලාත් ධාතු පරිනිර්වාණයෙන් නැති ව යනවා.

එසේ වූ මේ ශරීරය ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙමින් විනාශය කරා දිව යන, දුක් ලබාදෙන, අනිත්‍ය වූ, අනාත්ම වූ, හේතු ඵල දහමින් සකස් වූ දෙයක් ම යි. ශරීරයට ලැබෙන පහස නිසා ඇති වන සිතිවිලිත් අනිත්‍ය යි. දුක් ලබා දෙන දෙයක් ම යි. හේතූන් ඇති වන ආකාරයට ඇති වන, හේතූන් නැති වන විට නැති වී යන හේතු ඵල දහමක් පමණ යි. පාලනය කළ නොහැකි අනාත්ම දෙයක් ම යි.

කය නිසා ඇති වන සිතිවිලි අනිත්‍ය යි. අනිත්‍යය යි. අනිත්‍යය යි. සිතිවිලි නිසා දුකක් ම යි ලැබෙන්නේ. දුකක් ම යි ලැබෙන්නේ. සිතිවිලි අනාත්ම යි. අනිත්‍ය යි. දුක යි. අනාත්ම යි. සියලු සිතිවිලි අත්හරිම්. අත්හරිම්. අත්හරිම්… සිතිවිලි අත්හැරී ගිය ඒ ශාන්ත සුවයෙන් සැම දෙන සැනසෙත්වා!

Posted in Uncategorized | Tagged , , , , , | Leave a comment

භාවනා

284133_618108414885675_221943238_nඅමෙරිකාවේ විශ්වවිද්‍යාල කීපයක බුද්ධ ධර්මය ඉගැන්වීමේ යෙදුණු පූජ්‍ය හේනේපොළ ගුණරතන හිමිපාණෝ ‘භාවනාව’ පිළිබඳ ඉහළ අත්දැකීම් ඇති කම්මට්ඨානාචාර්යයන් වහන්සේ නමකි. උන් වහන්සේ නිසා අමෙරිකානුවෝ විශාල පිරිසක් පැවිදි වී බුදු සසුනට ඇතුළු වූ හ. අදින් ඇරැඹෙන්නේ භාවනාව පිළිබඳ ව උන් වහන්සේගේ අත්දැකීම් සහිත ලිපි පෙළකි. මෙය අප පළ කරනුයේ අමෙරිකාවේ වර්ජිනියාහි ලලිතා අමරසිංහ මහත්මියගේ අනුග්‍රහයෙනි.

කුමන භාවනාවක් කළත් සිල් පිරිසිදු කරගත් විට ඒ භාවනාව සාර්ථක කරගත හැකි වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වා ඇති ආජීව අට්ඨමක සීලය රැකීම ඉතා උතුම් ප්‍රතිපත්තියකි. මේ උතුම් ප්‍රතිපත්ති අටෙන් කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම හා සම්ඵප්‍රලාප දෙඩීමෙන් වැළකීම යන ප්‍රතිපත්ති තුන අඩු කර උපුටාගත් ඉතිරි ප්‍රතිපත්ති පහ දැන් පන්සිල් වශයෙන් ගෙන බොහෝ බෞද්ධයෝ පන්සිල් ගන්නවා කියා මේ පහ හැමදාම හැම තැනම කියති.

ඒත් ඒ පන්සිල් රැකීම වුව ද එතරම් පහසු නැත. පන්සිල් රකිනවායයි කියන්නේ පාණාතිපාතා ආදි සිල් පද පහ මන්ත්‍රයක් ලෙස සියදහස් වරක් කීම නොවේ. බොහෝ බෞද්ධයෝ මේ පහ හැමදාම, හැම තැනකම කියති; ඒවා උදේ සවස, පෝදාට, රේඩියෝවල, රූපවාහිනීවල, පත්‍රවල, සඟරාවල, දේශපාලන රැස්වීම්වල ආදි කී-නොකී දහක් තැන්වල කියති. සමහරවිට සමහරු මෙසේ මන්ත්‍රයක් ලෙස පන්සිල් කීමෙන් සිල් රැකෙනවා කියා හෝ නැත් නම් එයින් පින් සිදු වෙනවා කියා හෝ හිතනවා විය හැකිය. ගිරවුන් මල්කවුඩන් සේ පන්සිල් කීමෙන් කිසිම වැඩක් නැත. පන්සිල් කෝටිප්‍රකෝටි වරක් කීවත් පන්සිල් රැකෙන්නේ හෝ එයින් පින් සිදු වන්නේ හෝ නැත. ඉන් වැඩක් වන්නේ ඒ පහම තදින් හිතට ගෙන ඒවා හිත, කය, වචන යන ද්වාර ත්‍රයෙන් ක්‍රියාවට නැංවුවොත් පමණි.

මේ සිල් පද පහ කිය-කියා සතුන් මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමයන්හි වැරැදි ලෙස හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් පන්සිල් රකිනවායයි කියා ඒ සිල්පද පහ මැතිරීමෙන් කිසිම වැඩක් නොවේ. මෙකී පංචසීලය හා මුලින් සඳහන් කළ ආජීවඅට්ඨමක සීලයද යන ප්‍රතිපත්තිවලින් එකක් වත් ඉබේම රැකෙන්නේ නැත. ඉතා ශ්‍රද්ධාවෙන් හා ලොකු චිත්ත ධෛර්යයකින් යුතුව හිතට එකඟවම සිල් රැකීමට අධිෂ්ඨාන කරගෙනම භාවනාවට පසුබිම සකස් කරගත යුතුය. මේ පහ හොඳින් ආරක්ෂා කරගෙන ඉන්නා කෙනෙකුට කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම හා සම්ඵප්‍රලාප දෙඩීමෙන් වැළකීම යන ප්‍රතිපත්ති තුනද රැකීමට ඉබේම හිතක් පහළ වේ. එවිට මුළු ආජීව අට්ඨමක සීලයම රැකීමේ ශක්තිය ඔහුට ලැබේ. අපේ බෞද්ධ පින්වතුන්ට මේ ගැන අවංකවම හිතන්ට හැකියාවක් ලැබේවායි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරමු.

බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ එක් මිනිසෙක් උන්නේය. ඔහු මේ සිල් පද පහම රැකීම අපහසුයයි සිතා සතුන් මැරීමෙන් පමණක් වැළකී සිටීමට අධිෂ්ඨාන කරගෙන, කුරා-කුහුඹියෙක් වත් මැස්සෙක් වත් මදුරුවෙක් වත් නොමරන්නට

තීරණය කරගත්තේය. ටික කලක් ඔහු මෙසේ කල් ගත කරන විට ඔහුගේ අදහස්වලට සමාන තව මිනිසෙක්ද ඔහු අනුගමනය කරන්නට පටන් ගත්තේය. ටික කලක් යන විට තව කෙනෙක්ද තව ටික කලක් යන විට තව කෙනෙක්දැයි මේ පිරිස එකමුතුව පළමුවැනි සිල්පදය රකිමින් සිටියෝ ය. මොවුන් මෙසේ පළමුවැනි ශික්ෂාපදය රකිමින් ඉන්නා විට තව මිනිසෙක් කල්පනා කළා සතුන් නොමරා ඉඳීම එතරම් අමාරු දෙයක් නොවේ. හොරකම් නොකර සිටීමයි බොහොම අමාරු කාර්යය කියා. “මිනිසුන් අඩු ගණනේ අනුන්ගේ අදහසක් හෝ හොරකම් කරනවා. මම එහෙම අනුන්ගේ අදහසක් වත් ආදායම් බදුවලින් වත් හොරකම් නොකර, ඉතාම අවංකවම ජීවත් වෙන්නට ඕනෑ” කියා. එසේ කල්පනා කර ඔහු හොරකම් කිරීමෙන් වැළකී සම්පූර්ණ අවංක ජිවිතයක් ගත කරමින් ජීවත් වෙන විට අර සතුන් නොමරන්නාට මෙන්ම මොහුටත් පිරිසක් එක් වූහ.

මොවුන් මෙසේ සිල්පද දෙකක් රකින කණ්ඩායම් දෙකක් වූ පසු තුන් වැන්නෙක් කල්පනා කළා “මොවුන් රකින සිල්පද දෙක රැකීම බොහොම පහසුයි. තුන් වැනි සිල්පදය රැකීම තමා ඉතාම අමාරු. මම ඒක රකින්නට ඉටාගන්ට ඕනෑ” කියා. ඔහු එතැන් පටන් කාමයන්හි වැරැදි ලෙස හැසිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී ජීවත් වෙන්ට පටන් ගත්තේ ය. ඔහු මෙසේ කාමයන්හි වැරැදි ලෙස හැසිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී ජීවත් වෙන විට මොහුටත් පිරිසක් එක් වූහ. මෙසේ ඔවුහුත් කණ්ඩායමක් ලෙස තුන් වැනි සිල්පදය පමණක් රකිමින් ජීවත් වූහ.

හතරවැන්නෙක් බොරු නොකියා ජීවත් වීම අනිත් හැමදේටම වඩා අපහසුයයි සිතා ඔහු කල්පනා කළා සත්‍යයම කථා කරන්නට. ඔහු කවටකමට වත් බොරුවක් නොකියන්නට තීරණය කරගත්තේය. කල් යෑමේදී ඔහුටත් එකා දෙන්නා එකතු වී එම අයගෙන් සමාගමක් ආරම්භ කෙළේය.

මොවුන් මෙසේ කල් ගත කරමින් සිටින විට එක්තරා මිනිසෙකුට කල්පනා වුණා, “මේ සිව් දෙනා රකින සිල්වලට වඩා රැකීමට බෙහෙවින් අපහසු සීලය තමා මත් පැනින් වැළකී ජීවත්වීම. මම මත්පැනින් වැළකී ජීවත්වෙන්නට ඕනෑ” කියා එතැන් පටන් ඔහු මත්පැන් පාවිච්චියෙන් තොරව ජීවත් වෙන්නට පටන් ගත්තේය. කල් යෑමේදී ඔහුටත් ක්‍රමයෙන් අර මුල් හතර දෙනාට මෙන්ම පිරිසක් එකතු විය.

මේ පිරිස් පහ මෙසේ කල් ගත කරන විට වරින් වර මේ පිරිස් පහෙන් දෙදෙනෙක්, තුන් දෙනෙක් හෝ හතරපස් දෙනෙක් එක් වූ හැම තැනකම “අප රකින සීලය ඔබ රකින සීලයට වඩා රැකීමට බොහොම අමාරු එකකි. ඔබ රකින සීලය නම් ඕනෑ කෙනෙකුට රැකිය හැකිය. අප රකින සීලය කිසිකෙනෙකුට රකින්නට බැහැ. හැකි නම් අප රකින සීලය රැක බලන්නැ” යි ඔවුනොවුන් අන්න්‍යෝන්‍යන්ට අභියෝග කරන්නට පටන් ගත්හ. මේ නිසා ඔවුනොවුන් බහින්බස් වෙන්නට ද පටන්ගත්තේය.

මෙසේ කාලයක් ගත වන විට මේ අය අතර කලකෝලාහල, දික්වෙමින් පවතින විට ඉන් කෙනෙක් යෝජනා කළා, “සහෝදරවරුනි, අප ඉතාම උතුම් සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගෙන ක්‍රියා කරන ගමන් අප දැන් කලක සිට අපේ උතුම් ඉලක්කය අමතක කර අපි නිතර කලකෝලාහල කරගනිමු. හොඳ සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගෙන දැන් අපි ඉතාම පහත් ලෙස කලකෝලාහල කරමින් සිටීම අපට කිසිසේත් නොගැළපෙන ක්‍රියාවකි. මෙය අප වැන්නන්ට සුදුසු නැත. අපි මේ ගැන අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙන් උපදේශයක් ලබා ගනිමු” යි කියා.

ඊට හැමෝම එකඟ වී බුදු රජාණන් වහන්සේ ළඟට ගොස් උන් වහන්සේට වැඳ නමස්කාර කර මේ කරුණ ඉදිරිපත් කළහ. උන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව ඔවුන්ට සවන් දී අවසානයේ මෙසේ දේශනා කර වදාළහ:

“ඔබ හැම දෙනාම ඉතා උතුම් සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගැනීම ඉතාම යහපත්. ඒ එක සිල්පදයක් හෝ අවංකවම නොකඩවා රැකීම ඉතාම උතුම් දෙයකි. නමුත් එසේ උතුම් ක්‍රියාවක් කිරීමට ආරම්භ කළ ඔබ මෙසේ කලකෝලාහල කරගැනීම මෝඩකමකි. ඒ නිසා ඔබ හැම දෙනාම දැන් රකින සීලයට අතිරේකව තව සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගන්න.”

“භාග්‍යවතුන් වහන්ස, මේ දැන් රකින සීලයද අප රකින්නේ ඉතාමත් අමාරුවෙනි. ඔබ වහන්සේ දේශනා කර වදාරන පරිදි තව එකක් ඊට එක් කරගත්තොත් මේ දැන් රකින සීලයවත් රැකීම අපට අපහසු වෙන්නට බැරි නැද්ද?” බොහොම යටහත් පහත්ව ඔවුහු බුදු රජාණන් වහන්සේගෙන් ඇසූහ. “නැහැ, නැහැ, මා ඔබහැමදෙනාටම රකින්නට යයි කියන සිල්පදය රැකීමෙන් ඔබ දැන් රකින සිල්පදය පමණක් නොවේ ඉතිරි සිල්පදත් රැකීමට ඉතාමත් බලවත් ශක්තියක් ධෛර්යයක් වෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාම ඒ සිල් පදය රකින්නටත් අධිෂ්ඨාන කරගන්න.” “ඒ මොන සිල්පදයද, භාග්‍යවතුන් වහන්ස?“

“ඒකට තමා ‘සතිය’ කියන්නේ. ඔබ සතියෙන් යුතුව සිල් රකිනවා නම් ඔබට එක සිල්පදයක් පමණක් නොවේ, සිල්පද පහ පමණක් නොව ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුවද රැකිය හැකි යි” යනුවෙන් දේශනා කර වදාරා සතියෙන් යුතුව සිල් රැකීමෙන් හැම සීලයක්ම රැකිය හැකි බව බුදු රජාණන් වහන්සේ දේශනා කර වදාරා තිබේ. මේ නිසා සතිය හැම උතුම් ක්‍රියාවකටම මුල් වන බව බුදු රජාණන් වහන්සේගේ මෙම දේශනයෙන් අපට පැහැදිලි වේ.
‘සති’ යනු පාලි වචනයකි. ඒ වචනයකි. ඒ වචනයේ අදහස කුමක්දැයි ඔබට හිතෙන්ට පුළුවන. ‘සති’ යන්නට ‘ය’ එක් කර ‘සතිය’ කියා සිංහලෙන් ව්‍යවහාර කරති. අපි ව්‍යවහාරික සිංහල භාෂාවෙන් ‘සතිය’ යන්නට ‘සිහිය’ කියා භාවිතා කිරීමට පුරුදු වී සිටිමු. ‘සිහිය’ කී විට අපේ හිතට ඉබේම එන්නේ ‘මතක’ යන්නය. ‘මතක’ කී විට කුමක් මතකයේ තබාගත යුතුදැයි කියා ප්‍රශ්නයක් මතු විය හැකියි. භාවනා ගැන කරන සාකච්ඡාවකදී ‘සති’ හෝ ‘සතිය’ කියා කියන්නේ අප එදිනෙදා ජීවිතයේ දේවල් මතක තබාගැනීමකට නොවේ. ඊට වඩා උසස් හා ගැඹුරු තේරුමකටය. ‘මතක’ යනු සිල් රැකීමට පමණක් යොදාගන්නා සිහියක් නොව, භාවනාවේ මුල සිට අවසානය තෙක් දියුණු කරගත යුතු ප්‍රධානම මනෝමය ක්‍රියාවකි.

භාවනා ගැන කථා කරන විට ‘සති’ නැත් නම් ‘මතක’ යන්නෙහි අංශ රැසක් තිබෙන බව මතක තබාගත යුතුය. එයින් ප්‍රධාන පහ මෙහි සඳහන් කරමු.

1. ‘පන්සිල් රකිමි’ යන අධිෂ්ඨානය හිතේ තබාගෙන ඒ අනුවම දිනපතා ජීවිතය ගත කිරීම.

2. පක්ෂග්‍රාහී නොවී අපේ රූප වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන පංචස්ඛන්ධයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතා දැකීම

3. එම අත්දැකීමෙන් ලැබෙන මතකය හිතේ තබාගෙන ඒ අනුව හැම දේම අවබෝධ කරගැනීමට හිත පුරුදු කරගැනීම.

4. ඒ අනිත්‍ය වූ කිසිවක් රාග වශයෙන් හිතින් අල්ලාගැනීමක් හෝ ද්වේෂ වශයෙන් පිටුදැකීමක් හෝ නොකර, හිත මධ්‍යස්ථව තබාගැනීමට පුරුදු කරගැනීම.

5. එසේ කිරීමෙන් පංචස්ඛන්ධයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතාවන් සුලුවශයෙන් හෝ හිතට පෙනුණාම එය මතක තබාගැනීම.

මෙයින් අපේ හිත ක්‍රමක්‍රමයෙන් දියුණු වී අපේම පංචස්ඛන්ධය තුළින්ම නිවන් අවබෝධ කරගත හැකි වේ. මේ බව දැකීමට නම් අපේම සිරුරට සම්බන්ධ යම්කිසි දෙයකට නිතර හිත යෙදවිය යුතුයි. මේ සඳහා අප යොදාගන්නේ අපේම ආශ්වාස ප්‍රශ්වාස වායුවමයි. එහි වෙනස්වීම අපට ඉතාම හොඳින් වැටහෙන නිසයි එය අපේ භාවනාවේ අරමුණ කරගන්නේ.

ඊළඟට සම්පජඤ්ඤය. ඒ කියන්නේ, ඒ ඇති කරගන්නා දැනුම වඩවඩාත් ගැඹුරු ලෙස දියුණු කරගෙන පංචස්ඛන්ධයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතාවන් තව තවත් ගැඹුරින් දැකීමයි. ඒ නිසා සතියත් සම්පජඤ්ඤයත් යන දෙක එකටම යන දෙකකි. සම්පජඤ්ඤය කොටස් හතරකට බෙදා අටුවාචාරීන් වහන්සේලා පෙන්වා දී ඇත. ඒ සාත්ථක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ හා අසම්මෝහ සම්පජඤ්ඤ වශයෙනි.

සාත්ථක සම්පඤ්ඤ කියන්නේ තමන්ගේ ඉලක්කය ඉතා හොඳින් අවබෝධ කරගැනීමය. භාවනානුයෝගියාගේ ඉලක්කය වන්නේ සිත පිරිසිදු කරගැනීමත්, ශෝකපරිද්දවයන් නැති කරගැනීමත්, දුක් දොම්නස් නැති කරගැනීමත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමත් හා නිවන් අවබෝධ කරගැනීමත් යන ඉලක්ක පහය.

භාවනා කරන හැම මොහොතකම එක්තරා ප්‍රමාණයකට රාග, ද්වේෂ හා මෝහ යන අකුසල්වලින් සුළු ප්‍රමාණයක් හෝ තාවකාලික වශයෙන් නැති වී, අපගේ හිත පිරිසිදු බවට පත් වේ.

අනිත්‍යය හොඳින් හිතට පෙනෙන විට ඒ අනිත්‍ය වූ දේ පිළිබඳව ඇති කරගෙන තිබුණු බැඳීම ක්‍රමක්‍රමයෙන් අඩු වී ගොස් ඒ අනිත්‍ය දේ නොලැබීමෙන් හෝ, ලැබූ අනිත්‍ය දේ නැති වීමෙන් හෝ ඇති වන ශෝක කිරීම, ඇඬීම, වැලපීම තුනී වී නැති වි හෙවත් අහෝසි වී යයි.

අනිත්‍ය වූ මේ සිරුරට ඇති වන නොයෙකුත් ලෙඩ රෝගාදිය නිසාත්, අපි‍්‍රයයන් සමඟ ජීවත්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම ආදිය නිසාත් ඇති වන දුක් දොම්නස් නැති කරගත හැකි වේ.
අනිත්‍ය, දුක්ඛ, අනන්ත යන ත්‍රිලක්ෂණය දැකීමත්, ඒ අනිත්‍ය දේ හිතින් තදින් අල්ලාගෙන සිටීමත් නිසා දුක ඇති වන බව දැකීමයි යථාර්ථය දකිනවා යයි කියන්නේ. ඊටම තමා සත්‍ය දැකීම හෝ ඇත්ත දැකීම හෝ ඇති දෙය ඒ හැටියෙන් දැකීම හෝ හරි දැකුම හෝ කියන්නේ. මේ දැකීම, දැනීම, අවබෝධය, නුවණ ඇති වීම තමා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් පියවර.

ඉන් පසු අනිත්‍ය වූ දෙයට ඇලීම බැඳීම හිතින් අතහැරීම නම් වූ කෙනක්ඛම්ම සංකප්පයත්, මෛත්‍රී කිරීම නම් වූ අව්‍යාපාද සංකප්පයත්, කරුණාව දියුණු කිරීම නම් වූ අහිංසා සංකප්පයත් දියුණු වේ. මේ හිතුවිලි තුන එක් කරගත් විට ඊට සම්මා සංකප්පයයි කියති. මෙලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සියලු අග සම්පූර්ණ වීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීම සිදු වේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ විදිහටම අනුගමනය කරගෙන යන විට තමා නිවන් අවබෝධ වන්නේ.

සප්පාය සම්පජඤ්ඤයැයි කියන්නේ භාවනා කිරීමෙන් අප බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබාගැනීමට යොදාගන්නා කර්මස්ථානය ඒ බලාපොරොත්තු වන අරමුණ කරා ගමන් කිරීමට සුදුසුදැයි පරීක්ෂා කර නුවණින් දැනගැනීමය. භාවනා කරන විට තමන් කරන භාවනාවෙන් ඒ අපේක්ෂාවන් කරා හිත නොයෙදනවා නම් ඒ බව දුටු වහාම හිත ඒ සඳහා යොමු කළ යුතුයි. මේ තත්ත්වය හොඳින් දැනගැනීමයි සප්පාය සම්පජඤ්ඤයයි කියන්නේ. සුදුසු කර්මස්ථානය බලාපොරොත්තු වන අරමුණු කරා ගෙන යා හැකි බව හොඳින් අවබෝධ කරගැනීමය.

ගෝචර සම්පජඤ්ඤ කියන්නේ තමන්ගේ හිත යොදවන්නේ කුමන අරමුණකටදැයි හොඳින් අවබෝධ කරගැනීමය. අපේ භාවනා අරමුණ වන්නේ අපේම පංචස්කන්ධයයි. අප ඒ පංචස්කන්ධයන්ටම හිත යොමු කළ යුතුයි. එවිට ඒ පිළිබඳ නියම අවබෝධය ඇති වේ. ‘ගෝචර’ කියා පාලියෙන් කියන්නේ ගවයන් කෑම කමින් හැසිරෙන ස්ථානයටය. ඒ අර්ථය ආරූඪ වශයෙන් ගෙන භාවනානුයෝගීයාගේ හිත භාවනා අරමුණෙහි හැසිරෙන තැන යන අදහසින් ‘ගෝචර’ කියා ව්‍යවහාර කෙරේ.
අසම්මෝහ සම්පජඤ්ඤ කියන්නේ කරන භාවනාවන් ඒ සඳහා උපයෝගී කරගන්නා කර්මස්ථානයත් ගැන පැහැදිලි දැනීමක් තිබීමය. ඒ පිළිබඳව කිසිම ආකුල-ව්‍යාකුල තත්ත්වයක් හිතේ නොතිබීම අසම්මෝහ සම්පජඤ්ඤයයි. භාවනා කරමින් ඉන්නා විට හිතේ එක්තරා සන්සුන්කමක් ඇති වී හිත ස්වල්ප මොහොතකට හෝ එකඟ වුණොත් ‘ඔන්න දැන් මට සමාධියක් ලැබුණා’ කියා හෝ ‘දැන් මට අහසින් යා හැකැ’යි කියා හෝ දැන් මට අනුන්ගේ හිත් කියවිය හැකැ’යි කියා හෝ දැන් ‘මම සෝවාන් වුණා’ යි කියා හෝ ඔබට හැඟුණොත් ඒ තමා මුළාව. මේ මුළාවට හසු නොවී භාවනානුයෝගියා මේ ගැන හොඳින් තේරුම් ගැනීමයි අසම්මෝහ සම්පජඤ්ඤ කියා කියන්නේ.

ඒනිසා භාවනා කරන හැම මොහොතකම නොහොත් අවදි වී ඉන්නා හැම මොහොතකම ඔහු සිතිය යුත්තේ මේ ඉලක්ක ලබාගන්නා ක්‍රමය පිළිවෙළ ගැනමයි. ගමන් කරන විටත්, වාඩි වන විටත්, ඇවිදින විටත්, කථා කරන විටත්, කථානොකර නිශ්ශබ්දව ඉන්නා විටත්, ආදි වශයෙන් තමන් කරන හැම ක්‍රියාවක් ගැනම හැම මොහොතේම ඒ ඒ ක්‍රියාවලත්, ඒ ඒ ක්‍රියා කරන විට තමන්ගේ හිතේ ඇති වන සිතුවිලි, දැනෙන දැනීම් ආදියෙහිත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකිමින් සිහිය යොදවාගෙනම ඒ ක්‍රියා කළ යුතුයි.

ඒ සමඟම අල්පේච්ඡභාවය දියුණු කළ යුතුයි. තණ්හාව වැඩෙන අයුරු ක්‍රියා කිරීමෙන් වැළකිය යුතුයි. මෙකී කරැණු නිතර නිතර දිනපතාම කරන විට, නිදාගන්ට ගියත් අවදි වී සිටියත්, නිතර හිතෙන්නේ සිල් රැකීමටත්, සතිසම්පජඤ්ඤය දියුණු කිරීමටත්ය. මෙසේ හිත පුරුදු-පුහුණු වන විට නොයෙකුත් දේ එකතු කිරීමට අල්ලාගැනීමට රැස් කිරීමට ආශාව කැමැත්ත ඇති වන්නේ නැහැ. එවිට අල්පේච්ඡතාව වැඩීමට හිත පුරුදු වෙනවා. මෙසේ උතුම් අදහස් නිතර නිතර හිතට නංවාගෙන ඒවාම සිහි කරන විට ඒවාම දියුණු වෙනවා. මෙහෙම හිත සැනසෙන, හිතට සුව ගෙනදෙන, මනසෙහි තැන්පත් භාවය දියුණු කරන, හිතේ නිවැරැදි එකඟතාව ඇති කරගන්නා ලෙස හිත පුරුදු කිරීමටයි භාවනා කරනවා කියන්නේ.

Posted in Uncategorized | Tagged , , | Leave a comment