දිවෙන් එහා

phan-minh-duc-2රාහුල තෙරුන් වහන්සේගෙන් බුදු පියාණන් වහන්සේ “දිව නිත්‍ය ද? අනිත්‍ය ද? යමක් අනිත්‍යය නම් එය දුකක් ද? සැපක් ද? අනිත්‍ය නම් දුක් සහිත නම් වෙනස් වනසුලු නම් මෙය මම ය, මගේ ය, මේ මගේ ආත්මය යැ යි ගැනීමට සුදුසු ද?” ආදි වශයෙන් තවදුරටත් ප්‍රශ්න ඇසූ හ.

රාහුල හිමියෝ මෙසේ පිළිතුරු දුන් සේක:

“දිව අනිත්‍යයි, දුක් සහිතයි, අනාත්මයි. එය අවබෝධ කරගැනීමට උත්සාහ කළෙමි.”

ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන සය පිළිබඳ ව යථා තත්ත්වය අවබෝධ කරගැනීම නිවන් මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ දරන කෙනකුට අත්‍යවශ්‍ය ය. එලෙසින් ම ලෞකික ජීවිතයේ දී ඇලීම්, ගැටීම්වලින් තොර ව සිත පවත්වාගැනීමට ද ඒ පිළිබඳ දැන සිටීම මහෝපකාරී වෙයි.

දිව රසයට ඉතා කැමැති යි. තිත්ත රස, ලුණු රස, ඇඹුල් රස, පැණි රස, කහට රස මේ සියල්ල දැනගන්නේ දිවේ උපකාරයෙනි. කුසගින්න ඇතත් නැතත් දිවට දැනෙන රසාස්වාදය නිසා කෑමට ගිජුකම ඇති වන්නේ අප නොදැනුවත් ව ම යි. එවිට කටට කෙළ ගලාගෙන එයි. ඒ මොහොතේ දකින දෙයට පමණක් නො ව, ඊට පෙර රස විඳින ලද දෙයක් සිහි වන විට පවා කටට කෙළ උනන්නේ කෑමට ඇති ආශාව නිසා ම යි. එහෙත් මේ රසය උපාදාන කරගෙන ඇති වන ආශාව, කැමැත්ත භව දුකට මඟ පාදයි. ප්‍රේතලෝකවල නැත් නම් නිරයේ උපතට මඟ පාදන්නේ මේ ආශාව යි. “උපාදාන පච්චයා භවෝ. භව පච්චයා ජාති.” මේ බුදු වදන්වල අර්ථය යම් තරමකට හෝ වටහාගන්නට හැකි වුව හොත් දිවට දැනෙන රසය පිළිබඳ ව ඇති වන කැමැත්ත ටිකින් ටික අඩු කරගැනීමට, නැත් නම් කැමැත්ත අතහැර-දැමීමට හැකි යි. සැම විට ම ගන්නා ආහාරය පිළිබඳ ව ප්‍රත්‍යවේක්‍ෂා කිරීමට බුදු පියාණන් උපදෙස් දී ඇත්තේ ඒ නිසා ම යි.
මා කුඩා කල මගේ පියා සැම විට ම කීවේ “පුතේ, කිසි ම වේලාවක කන-බොන දෙයක රස හෝ රස නැති බව සිතන්න එපා. එහෙම සිතන-එක පවක්. බඩගිනි නම් තියෙන දෙයක් සිත සතුටින් කන්න” කියල යි. ඔහු එදා දුන් ඒ අවවාදයේ අරුත වැටහුණේ බුදු පියාණන් වදාළ ධර්මය ටිකින් ටික තේරුම් යන විට යි.

දිවට දැනෙන රස කියන්නේ ඉතා ම සුළු වේලාවකට දැනෙන දෙයක්. ඕනෑ ම දෙයක් දිවට ස්පර්ශ ව තිබෙන තුරු පමණක් එහි රසය දැනෙනවා. එය උගුරින් පහළට ගියාට පසු ව ඉතා ම අප්‍රසන්න වමනය බවට පත් වූ, දුර්ගන්ධය හමන දෙයක් බවට පත් වෙනවා. කටට ගත් දෙය කෙළ සමඟ මිශ්‍ර වීමෙන් ම එය අපි‍්‍රය ජනක දෙයක් බවට පත් වෙනවා.

ඒ වගේ ම රස විඳිමින් සිටින ආහාරයේ වෙනත් නීරස දැනෙන දෙයක් තිබුණොත් මුලින් විඳින ලද රසය අමතක වෙනවා. ඊළඟට අප්‍රසන්න බව නිසා වමනය පවා යන්නට ඉඩ තිබෙනවා. ඒ වගේ ම රස විඳිමින් සිටින ආහාරයේ වෙනත් නීරස දැනෙන දෙයක් තිබුණොත් මුලින් විඳින ලද රසය අමතක වෙනවා. ඊළඟට අප්‍රසන්න බව නිසා වමනය පවා යන්නට ඉඩ තිබෙනවා. බත් කන වෙලාවක කෙස් ගසක් බත් පිඟානේ දැවටී තිබුණොත් කෑමට ඇති බඩගින්න පවා අමතක වී, බත් පිඟාන පැත්තක දමනවා. පි‍්‍රය ජනක ව තිබූ රසය අනිත්‍යයට යනවා. අප්‍රසන්න බව ඉස්මතු වෙනවා.

රසය මොහොතින් මොහොත වෙනස් වෙනවා. කටට ගන්නා ආහාරයේ ඇති වෙනස්කම් මත රසය වෙනස් වෙනවා. එවිට ඇති වන හැඟීම්, සිතිවිලි වෙනස් වෙනවා. පැණි රස, ඇඹුල් රස, තිත්ත රස, කහට රස, ලුණු රස මේ සියල්ල වරින් වර වෙනස් වෙමින් දිවට දැනෙන්නේ දිවේ තිබෙන ජිව්හා ප්‍රසාද රූපය හා එකතු වන විඤ්ඤාණයත්, රසයත් නිසා ඇති වන පස්සය නිස යි. වෙනස් වන රසයට අනුව ස්පර්ශයත් වෙනස් වෙනවා. ඒ අනුව පහළ වන වේදනා, සඤ්ඤා – එනම් විඳීම් සහ හඳුනාගැනීම් – වෙනස් වෙනවා.

එනිසා ඇති වන සිතිවිලිත් එයට අනුකූල ව වෙනස් වෙනවා. දිවට දැනෙන රසය වෙනස් වන විට, අනිත්‍යයට යන විට ඒ නිසා ඇති වන සිතිවිලිත් වෙනස් වෙනවා; අනිත්‍යයට යනවා. පි‍්‍රය උපදවන රසය නිසා ඇති වන සිතිවිලි වගේ ම අපි‍්‍රය රසය නිසා ඇති වන සිතිවිලිත් අනිත්‍යයට යනවා; නැති වී යනවා. කිසි ම සිතිවිල්ලක් අල්ලා නවත්වාගන්න බැහැ. ඉතිරි වන දෙයක් නැහැ. සියල්ල නැති වී යනවා. මොහොතක රසාස්වාදයක් ලැබෙන විඳීමක් පමණ යි. ඒත් ඒ විඳීමට ඇති කැමැත්ත, ආශාව නිසා නොයෙක් සිතිවිලි ඇති කරගනිමින් අකුසල් සංස්කාර ජනිත කරගෙන දුකින් දුකට පත් වෙනවා.
අලුත උපන් දරුවකු මුලින් ම මව් කිරිවල රසයට ඇති කැමැත්ත නිසා පළමු ආශාව, තණ්හාව ඇති වෙනවා. ඊළඟට මැරෙන මොහොත දක්වා ම දිවෙන් විඳින රසාස්වාදයට ආශාව, තණ්හාව ඇති වෙන නිසා මිලියන ගණන් සිතිවිලි ඇති වෙනවා. ඒත් ඒ එක ම සිතක් වත් මොහොතකට වඩා පවතින්නේ නැහැ. ඇති වී නැති වී යනවා; නැවතත් ඇති වෙනවා; නැති වෙනවා. මේ සිතක් මැරෙන මොහොතක ඇති වුණොත් ප්‍රේත ලෝකයේ නැත් නම් නිරයේ උපත ලබනවා. ඇති වෙන කර්ම භවයට අනුව ජාතිය සකස් වෙනවා. ජාතිය නිසා ජරා, මරණ, ව්‍යාධි සෝක පරිදේව දුක් කන්දරාව ම යළි-යළිත් විඳින්නට සිදු වෙනවා.

දිව රස විඳීමට පමණක් නො වෙයි, කතා කිරීමට, ආහාර ගිලීමට, කටේ ඇති ආහාරය පෙරළා ගනිමින් දත්වලින් සැපීමට උදව් කරගැනීමටත් අවශ්‍ය වෙනවා. දිවට ඇති වන යම් හානියකින් කතා කිරීමට නොහැකි වෙනවා. ඒ වගේ ම දිව කර්ම විපාක ශක්තීන්ට අනුව සකස් වෙන දෙයක්. උපදින විට ම දිවේ පිහිටීමේ යම් යම් අඩු-පාඩු නිසා සමහර අයකුට කතා කරන්න බැරි වෙනවා. දිව ශරීරයේ අනෙක් කොටස් සැදී ඇති මූල ධාතුවලින් ම සකස් වුණ දෙයක්; සතර මහා ධාතූන්ට අයත් වූ දෙයක්. එනිසා නිරන්තරයෙන් ම වෙනස් වෙමින් අනිත්‍යයට යනවා. දිවේ අනිත්‍යතාව හොඳින් වැටහී ගිය එක්තරා සිදුවීමක් මට නිතර ම සිහිපත් වෙනවා.

මා ඒ මොහොතේ සිටියේ ගමේ පන්සලේ උත්සවයකට සහභාගී වෙමිනුයි. මට එක පාරට ම කතා කරගන්නට බැරි ව ගියා. මගේ දිව උඩුතල්ලට තද වෙන්න පටන් ගත්තා. ඒ සමඟ ම දිවෙන් ලොකු වේදනාවක් දැනෙන්න වුණා. කිසි ම විදියකින් මට අවශ්‍ය විදියට දිව හසුරුවාගන්න බැරි වුණා. කෑමක් තබා බොන දෙයක් වත් බොන්න බැහැ. කතා කරන්නත් බැහැ. මගේ අමාරු තත්ත්වය ළඟ සිටි කෙනාට දැනුම් දුන්නේ ගොළු බසිනුයි. මට අංශභාගය හැදෙන්න එනවා කියලා සිතුණා. වෛද්‍ය ප්‍රතිකාර නිසා සුවය නොලැබුණා නම් මට කතා කරන්න, කන්න බොන්න බැරි ව මරණයට පත් වන්න ඉඩ තිබුණා.
කිසි ම හේතුවක් නැති ව සිදු වන එවැනි අසනීපවලින් මොන තරම් දුක් ලැබෙනවා ද? දිව මගේ දෙයක් නම් මට ඕනෑ විදියට පවත්වාගන්න හැකි වෙන්න ඕනේ. ලෙඩ-රෝග ඇති නොවී පවත්වාගන්න පුළුවන්කමක් නැහැ. එනිසා දිව අනිත්‍යයට යන, දුක් ලබා දෙන, අනාත්ම දෙයක් ම යි. ලෞකික ව මේ ජීවිතයේ දී පමණක් දුක් ලබා දෙන දෙයක් නො වෙයි. සසර දුක් ලබාදෙන අනන්තවත් ප්‍රේත ලෝකවල, නිරයේ උපත සකස් කර දෙන, මම මගේ නොවන, අනාත්ම දෙයක්.

දිවේ පිළිකා සැදීම නිසා දුක් විඳින අසරණ ලෙඩුන් කොපමණ සිටිනවා ද? සතර මහා ධාතූන්ට අයත් දිව සැදී ඇති රූප කොටස් නිරන්තරයෙන් ම වෙනස් වෙනවා. එනිසා නොයෙක් ලෙඩ රෝග ඇති වෙනවා. එයින් අනන්තවත් දුක් ලැබෙනවා. ‘මම-මගේ’ දෙයක් නම් ලෙඩ දුක් ඇති නොවී පවත්වාගන්න හැකි වෙන්න ඕනේ. ඒත් එසේ වන්නේ නැහැ. දිව අනිත්‍යයට යන, නිරන්තරයෙන් ම දුක් ලබා දෙන, අනන්ත සසර දුක් ලබා දෙන, අනාත්ම වූ දෙයක් ම යි.

උපන් දා සිට මේ දක්වා දිවෙන් කොපමණ රස විඳීන්නට ඇද්ද? තිත්ත රස කොපමණ දැනෙන්න ඇද්ද? ඒ වගේ ම ලුණු රස, ඇඹුල් රස, පැණි රස, කොතරම් දැනුණා ද? රසයක් දිවට ලැබුණේ නැති වෙලාවකට දිව තිබෙන බව වත් මතක නැහැ. යම් රසයක් දිවට ගෑවුණ වෙලාවට පමණයි එහි රසය දැනෙන්නේ. දිවත්, රසයත්, විඤ්ඤාණයත් එකතුව නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශයට අනුව ඇති වන විඳීම නිසා සිතිවිලි සකස් වෙනවා. පි‍්‍රය උපදවන රසයක් නම් සතුටින්, තණ්හාවෙන්, ආශාවෙන් සිතිවිලි සකස් වෙනවා. එවිට නැවත ඒ රසය විඳීමට කැමැත්තක් ඇති ව උපාදානය ඇති වෙනවා. අපි‍්‍රය ජනක රසයක් නම් නොසතුටු සිතිවිලි ඇති වෙනවා.
ඒ ගැන නැවත නැවත සිතමින් ගැටීමෙන්, නොසතුට උපාදාන කරනවා. ඒ නිසාත් විවිධ සිතිවිලි සකස් වෙනවා. “උපාදාන පච්චයා භවෝ. භව පච්චයා ජාති.” මැරෙන මොහොතේ එවැනි සිතක් ඇති වුණොත් සකස් වුණ කර්ම භවයට අනුව ජාතිය හෙවත් (ප්‍රතිසන්‍ධිය) ඉපදීම ඇති වෙනවා. ඉපදීම නිසා නැවත ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව ආදි දුක් කන්දරාව ම යළි-යළිත් පහළ වෙනවා. මේ ආකාරයට ඇස, කන, නාසය වගේ ම දිවත් සංසාර දුක නැවත නැවතත් ලබාදෙන, සිතිවිලි උපදවන කර්මාන්ත ශාලාවක් බවට පත් වෙනවා. නොදන්නාකම නිසා අනිත්‍යයට යන සිතිවිලිවලට ආශා කරනවා. කිසි ම සිතිවිල්ලක් නවත්වාගන්න, මට ඕනෑ විධියට පාලනය කරන්න බැහැ; නැති වී යනවා; හිස් දෙයක්, ශූන්‍ය දෙයක් බවට පත් වෙනවා.

අනිත්‍යයට යන සිතිවිලි, පාලනය කරන්නට බැරි අනාත්ම සිතිවිලි, සසර දුක් ලබාදෙන සිතිවිලි, මානසික දුක් ඇති කරන සිතිවිලි, ශූන්‍ය වූ සිතිවිලි අතහරිමි; අත හරිමි; අත හරිමි.

සිතිවිලි අනිත්‍ය යි, අනාත්ම යි; අනිත්‍ය යි, අනාත්ම යි; අනිත්‍ය යි, අනාත්ම යි…

දිව අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි…

දිවට දැනෙන රස අනිත්‍ය යි; අනාත්ම යි…

රස නිසා ඇති වන සිතිවිලි අනිත්‍ය යි; අනාත්ම යි…

සසර දුක් ලබාදෙන සිතිවිලි අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි. අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි; අනාත්ම යි… සියලු සිතිවිලි නැති වී ගිය නිවන ශාන්ත යි. ඒ නිවන් සුවයෙන් සැම දෙන සැනසෙත් වා!

About dahamsabawa

✿.•*¨*✿✿.•*¨*✿✿.•*¨*✿✿.•*¨*✿✿.•*¨*✿ ධර්ම දානය පිණිසයි දහම් සභා මණ්ඩපය LIKE US ➨ http://www.facebook.com/dahampg ➨ https://www.facebook.com/daham.sabawa ➨ https://www.facebook.com/groups/Daham ➨ https://twitter.com/dahamsabawa ➨ daham.sabawa@gmail.com ➨ https://dahamsabava.wordpress.com ➲ LIKE IT ➲ SHARE IT ➲ USE IT ➲ LIVE IT
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a comment