බුදු ගුණ අපරිමිතයි

Divine-Light-Lord-Buddha-SOLD-[1]බුදු හිමියන්ගේ ගුණ කඳ මෙතෙකැ යි පැවසිය නොහැකි ය. පෘථග්ජන පුද්ගලයන්ට තබා මාර්ගඵල අවබෝධ කරගත් ශ්‍රාවකයකුට වුව බුදු ගුණ කියා නිම කළ නොහැකි ය. ඒ තබා බුදුවරයකු කල්පයක් තිස්සේ වෙනත් කිසි ම දෙයක් දේශනා නොකර, බුදු ගුණ පමණක් දේශනා කළ ද කල්පය නිම වනවා මිස බුදු ගුණ නිම නොවන බව දේශනාවෙහි සඳහන් වෙයි. බුදු ගුණ විවිධ දෘෂ්ටිකෝණයන් ඔස්සේ වර්ණනා කළ හැකි ය. චර්යා වර්ණනා, ගුණ වර්ණනා, ශරීර වර්ණනා ආදි වශයෙනි. බුදු හිමියන්ගේ ගුණ පිළිබඳ තොරතුරු ත්‍රිපිටකයට අයත් ග්‍රන්ථවල ඇතුළත් ව ඇත. මෙම බුදු ගුණ මෙනෙහි කරන විට බුදු හිමියන් පිළිබඳ ශ්‍රද්ධා භක්තිය අසීමිත ව වැඩි වෙයි. මෙකල ඇතැම් මුග්ධ පුද්ගලයන් තමන් බුදු බව ලබා ඇතැයි පවසමින් ජනතාව මුළා කරන අයුරු අසන්නට ලැබෙයි. එහෙත් සැබෑ බුදු ගුණ අනුව සලකා බලන විට ඔවුන් බුදු හිමියන්ගේ පාදූවිල්ලක් තරම් නොවටනා අඥානයන් බව දැකගත හැකි ය.

බුදු රජාණන් වහන්සේ ලෝක සත්ත්වයාගේ අවිද්‍යාව, නූගත්කම, වැරදි දෘෂ්ටි, වැරදි ක්‍රියා පෙන්වා දී, නිවැරදි මාර්ගය පැහැදිලි කර දීම සඳහා ම පහළ වූ උත්තමයෙකි. බුදු රජාණන් වහන්සේ දෙවියකු, ගාන්ධර්වයකු, යක්ෂයකු හෝ මනුෂ්‍යයකු නොවන බව උන් වහන්සේ විසින් ම ‘ද්‍රෝණ’ නම් බමුණාට පවසන ලදි. දෙවියන්, ගාන්ධර්වයන්, යක්ෂයන්, මනුෂ්‍යයන් තුළ පවත්නා කාමාදි ආශ්‍රවයන් තමන් වහන්සේ තුළ නොපවත්නා හෙයින් තමන් වහන්සේ එවැන්නකු නොවන බව මෙහි දී උන් වහන්සේ පැහැදිලි කළ
හ. මඩෙහි හට ගත් පියුමක් එම මඩෙහි නොගැටී පවත්නාක් මෙන් තමන් වහන්සේ මිනිසුන් අතර ඉපිද, මිනිසුන් අතර හැදී-වැඩී, ලෝකය සමඟ නොගැටී, නොගෑවී, නොබැඳී සිටින උත්තරීතර මනුෂ්‍යයකු බව පැවසූ හ. එබැවින් උන් වහන්සේ හැඳින්වීමට සුදුසු ම නාමය වන්නේ ‘බුද්ධ’ යන වචනයම ය.

සිද්ධාර්ථ කුමාරයා වශයෙන් මෙලොව ජනිත වී, මිනිසකු සතු ආයු ප්‍රමාණය ජීවත් ව සිට, ශ්‍රේෂ්ඨ මිනිසකු වශයෙන් පිරිනිවන් පා වදාළ සේක. මිනිස් සන්තානයෙහි පවත්නා රාග, ද්වේෂ, ඊ්ර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර වැනි ක්ලේශ ධර්මයන් ප්‍රහීණ කළහ. මිනිසුන් තුළ පැවතිය යුතු මෙත්, මුදිතා, කරුණා, උපේක්ෂා, ශීල, සමාධි, ප්‍රඥා වැනි උතුම් මිනිස් ගති උන් වහන්සේ තුළ විද්‍යමාන විය. “මහණෙනි, මම දැන් මහල්ලෙක් වෙමි. ජීවත් වීමට ඇත්තේ කෙටි කාලයකි. මම ඔබලා අත්හැරදමා යන්නෙමි. මවිසින් ඔබලා වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කළෙමි…” යි පියකු තම මරණ මංචකය වටා සිටින දූ-දරුවන්ට කියන අන්තිම වචනය මෙන් බුදුන් වහන්සේ “සියල්ල නැසෙනසුලු ය. එබැවින් අප්‍රමාදී ව කටයුතු කරන්න,” යනුවෙන් අවසන් අවවාද දුන් සේක.

බුද්ධ ශරීරය දෙස බලා සිටීමෙන් හෝ තමන් වහන්සේට වැඳීමෙන් පිදීමෙන් හෝ විමුක්තියක් ලැබිය නොහැකි බව බුදුහු පෙන්වා වදාළහ. එට කදිම නිදසුනක් ඇත. බුදු හිමියන් පිරිනිවන් මංචකයෙහි වැඩ සිටිය දී බොහෝ පෘථග්ජන භික්ෂූහු හඬා වැලපුණාහු ය. මාර්ගඵල ලාභී භික්ෂූන් වහන්සේලා තුෂ්ණිම්භූත ව සංස්කාරයන්ගේ ස්වභාවය මෙනෙහි කරමින් වැඩ සිටියහ. ‘ධම්මාරාම’ නම් භික්ෂුව ‘බුදු හිමියන් දුන් අවවාදය අනුව වහා ප්‍රතිඵල ලබාගන්නෙමි’ යි දැඩි සේ අදිටන් කරගෙන, පසෙකට ගොස් භාවනා කරමින් සිටියේ ය. අඬමින් වැලපෙමින් සිටි අනෙකුත් භික්ෂූන් වහන්සේලා ‘බුදු රජාණන් වහන්සේ දැඩි සේ ගිලන් ව, අවසන් හුස්ම හෙළන්නට සූදානම් ව සිටින අවස්ථාවෙහි ඒ ගැන කිසිදු හැඟීමක් නැති ව භාවනා කරන මෙම භික්ෂුව’ ගැන කෝපයට පත් ව අතින් ඇදගෙන ගොස් බුදුන් වහන්සේට දැක්වූ හ. “ස්වාමීනි, ඔබ වහන්සේ පිරිනිවන් පාන්නට සූදානම් ය.

අපේ අමා මෑණියන් වහන්සේ සදහට ම අපෙන් වෙන් ව යන මෙම අවස්ථාවේ අපට ද ජීවත් වීමෙන් පලක් නැත. ස්වාමීනි, අපි මින් මතු කාගේ මුහුණ බලා සිනා සෙමු ද? මින් මතු අපට මහත් කරුණාවෙන් අවවාද අනුශාසනා කරන්නේ කවුරු ද ස්වාමීනි? අපට ඇති ශෝකය අප්‍රමාණ යි. එහෙත් මේ භික්ෂුවට කිසි ම දුකක් ශෝකයක් නැත. මොහු ඇඬීම වැලපීම පසෙක ලා පැත්තකට වී භාවනා කරනවා. ඒ නිසා මොහු ඔබ වහන්සේ වෙතට රැගෙන ආවෙමු” යනුවෙන් පැවසූ හ. “මොවුන් පවසන කරුණු සැබෑ ද?” යනුවෙන් ප්‍රශ්න කළ විට “එසේ ය ස්වාමීනි, මම උන් වහන්සේලා මෙන් පලක් නැති හඬා-වැලපීම් නොකර, ඔබ වහන්සේ දුන් අවවාදවලට අනුව, ඔබ වහන්සේ ඉදිරිපිට දී ම උපරිම ප්‍රයෝජන ලබාගැනීමට අදහස් කළෙමි. ස්වාමීනි, මගේ එම අධිෂ්ඨානය අතිශයින් ම සාර්ථක යි. මම දැන් මොවුන් මෙන් හඬා වැලපෙන තත්ත්වයේ කෙනෙක් නොවෙමි,” යනුවෙන් පිළිතුරු දුන්හ. ධම්මාරාම භික්ෂූන් වහන්සේ රහත් භික්ෂුවක බවට පත් ව සිිටිනු දුටු බුදු හිමියෝ පිරිනිවන් මඤ්චකයෙහි සිට ම “සාධු සාධු සාධු!” යනුවෙන් තුන් වරක් සාධු නාද පවත්වා, අඬා-වැලපෙන භික්ෂූන් අමතා,

“මහණෙනි, මා වෙනුවෙන් අඬන වැලපෙන තෙපි මට සැබවින් ම ආදර ගෞරව දක්වන්නෝ නො වෙති. මගේ අවවාද පිළිගෙන ඒ අනුව කටයුතු කරන මේ ධම්මාරාම භික්ෂුව මට දක්වන්නේ සැබෑ ගෞරවයකි; ආදරයකි. මම ඔබට පවසමි. මහණෙනි, මට සැබැවින් ම ආදරය දක්වන්නන් මගේ වචනයට ගරු කළ යුතු වන්නේ ඒවා රන් පත්ඉරුවල රිදීª පත් ඉරුවල, සෙල් පුවරුවල ලියාගෙන ආරක්ෂා කිරීමෙන් නො වෙයි. එසේ ම ඒවාට වැඳීමෙන් ද පලක් නැත. සැබෑ ලෙස ගරු කළ හැක්කේ එම වචන අනුව පිළිපැදීමෙනුයි. ඒවා ක්‍රියාවට නැංවීමෙනුයි” යනුවෙන් වදාළහ.

“නොයෙකුත් සුවඳ මල්වලින් පිරිකරවලින් පිදීම සැබෑ ලෙස බුදුන් පිදීමක් නො වෙයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ ම සැබෑ ලෙස බුදුන් පුදන්නෝ වෙති. “ධම්මානුධම්මං පටිපජ්ජන්තා පන මං පූජෙන්ති නාම…” (ධම්මාරා වත්ථු) යනුවෙන් බුදු හිමියෝ වදාළ සේක.

වරක් බුදු හිමියන්ගේ සිරුර දෙස වශීකත ව බලා සිටි ‘වක්කලී’ හිමියන් අමතා “කිං තේ වක්කලී ඉමිනා පූති කායේන දිට්ඨේන?” ‘වක්කලිය, මේ කුණු සිරුර දෙස බලා සිටීමෙන් ඔබට ඇති ඵලය කිම? “යෝ ධම්මං පස්සතී සෝ මං පස්සති… යමෙක් ධර්මය දකියි නම් හෙතෙම බුදුන් දකියි” යනුවෙන් වදාළහ.

මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ උන් වහන්සේගේ බලාපොරොත්තුව වූයේ උන් වහන්ස්ගේ දිලිසෙන සිරුරට, රූපශ්‍රීයට, සුමිහිරි කටහඬට, නායකත්වයට, පෞරුෂත්වයට වසඟ වූ, අන්ධානුකරණයෙන්, අන්ධ භක්තියෙන් යුතු දහස් ගණන් අනුගාමිකයන් පිරිසක් වට කරගෙන ඔවුන් ලවා පුද-පූජාවන් කරවාගනිමින්, ඔවුන් යටත් කරගෙන තමන් කැපීපෙනෙන චරිතයක් බවට පත් වීම නො වේ. උන් වහන්සේට අවශ්‍ය වූයේ ධර්මය අනුව පිළිපදින, සත්‍යය, යුක්තිය සාධාරණත්වය උදෙසා කටයුතු කරන නොපසුබස්නා උත්සාහයෙන් යුතු සිල්වත් ශ්‍රාවක සමාජයක් බිහි කිරීම යි.
බුදු හිමියෝ තමන්ට මෙන් ම තමන් වහන්සේ දේශනා කළ ධර්මයට හෝ අනවශ්‍ය ගරු සැලකිලි පුද-පූජා පැවැත්වීම අනුමත නොකළහ. “කුල්ලූපමං වෝ භික්ඛවේ ධම්මං දේසිස්සාමී නිත්ථරණත්ථාය නෝ ගහනත්ථාය,” “මහණෙනි, තොපට මම පහුරක් උපමා කොට දහම් දෙසන්නෙමි. පහුර වනාහි එතෙර වීම පිණිස ය. එය කර මත තබාගෙන ආරක්ෂා කිරීම පිණිස නො වේ, (මජ්ක්‍ධිමනිකාය, අලගද්දූපම සූත්‍රය) පහුර ගඟෙන් එතෙර වීමට බොහෝ උපකාරී වූයේ ය යි කියමින් එය කර මත තබාගෙන ය යි නම් එය බුද්ධිමත් ක්‍රියාවක් නො වේ.

‘අග්ගීකභාරද්වජ’ නම් බමුණා බුදු හිමියන් දැක කෝපයට පත් විය. උන් වහන්සේට, ‘මුඩු මහණා, වසලයා’ වැනි වචනයෙන් ආමන්ත්‍රණය කරමින් බැණ-වැදුණේ ය. බුදු හිමියෝ කිසිදු වෙනසක් නොපෙන්වා “බමුණාණෙනි, ඔබ යමකු වසලයකු බවට පත් වන කරුණු දන්නේ දැ?” යි විමසා ඔහුට යමකු වසලයකු බවට පත් වීමට හේතු වන කරුණු පැහැදිලි කර දුන්හ. කිපෙනසුලු, වෛරයෙන් යුතු, පවිටු, ගුණමකු, තම දොස් වසන, සත්ත්ව ඝාතනය කරන, සතුන්ට දයාවක් නැති, ගම්-නියම්ගම් වනසන, මව්පියන්ට, තුනුරුවනට නොසලකන, පැවිද්දන්ට ගරහන පුද්ගලයෝ වසලයන් බවට පත් වෙති. “නජජ්ජා වසලෝ හෝතී – නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ… යමෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නො වෙයි. කරන ක්‍රියාවන් අනුව ම වසලයකු හෝ බ්‍රාහ්මණයකු බවට පත් වෙයි” (වසල සූත්‍රය).

බුද්ධත්වයට පත් වීම යනු මහා වීර ක්‍රියාවකි. මහා වීරයකුට හැර වෙනත් අයකුට මෙම වීර ක්‍රියාව කළ නොහැකි ය. බුදු බව ලැබීමට අදහස් කරන බෝසත්වරයකු විසින් සම්පූර්ණ කළ යුතු පාරමිතා දහයක් ඇත. ඒවා නම්: දාන, ශීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිට්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන මේවා ය. මෙම පාරමිතා පිරීමේ දී එක එකක් පාසා ජීවිත පරිත්‍යාග කිරීමට වුව සූදානම් විය යුතු ය. එය පරමත්ථ පාරමිතාව නම් වෙයි. මෙම පාරමිතාවන් පිරීමේ දී බෝසත්වරයකු විසින් විඳිනු දුක් මෙතෙකැ කිව නොහැකි ය. බුදු හිමියන්ගේ කටහඬ සුමිහිරි ය; දේශනා කරන වචන කාරුණික ය. අසා සිටීමේ දී කිසිවකුටත් එපා වන්නේ නැත. රසවත් වූත්, අර්ථවත් වූත්, අතිශයෝක්තියෙන් තොර වූත් එම දේශනාවන් ලෙවී- ලොවුතුරු රසයෙන් රසවත් ය. හැම වචනයක ම අඩංගු වන්නේ මෙලොව පරලොව දියුණුවට හේතු වන කරුණු පමණකි. “සමණෝ ච ගෝතමෝ කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී.” (කස්සපසීහනාද සූත්‍රය). බුදු රජාණන් වහන්සේ දහම් දෙසීමේ දී කිය යුතු දෙය සුදුසු කාලයට අනුව බලා දේශනා කරති; සත්‍යය ම දේශනා කරති; අර්ථ සහිත ව ම දේශනා කරති; නිරර්ථථක එක වචනයකුදු දේශනා නො කරති; නවලෝකෝත්තර ධර්මය ම දේශනා කරති.

බුදු හිමියෝ සැමට ම සම මෙත පෑ හ. රජවරුන්, බිසෝවරුන්, කුමර-කුමරියන්, සිටුවරුන්, ඇමැතිවරුන්, සෙන්පතිවරුන්, මහා පඬිවරුන්, ගොවි-කම්කරුවන්, කසළ ශෝධකයන්, මිනීමරුවන්, සොරුන්, යක්ෂයන් වැනි සියලු දෙනාගේ ම උස්-මිටිකම් පිළිබඳ නොසලකා, සැමට කරුණාව පැතිරූ හ. යහපත් මිනිසුන් මෙන් ම, නරක මිනිස්සු ද උන් වහන්සේ වෙත පැමිණ, උන් වහන්සේගේ කරුණා මෛත්‍රියට පාත්‍ර වූ හ. උන් වහන්සේ නරක මිනිසුන් සොයා ගොස් ඔවුන් යහපත් මිනිසුන් බවට පත් කළහ: මිනීමරුවන්, සත්ත්ව ඝාතකයන්, මසුරු පුද්ගලයන්, ගණිකාවන්, උපාසක- උපාසිකාවන් බවට පත් කළහ;
ගිලනුන්ට සුවය ලබා දුන්හ; මිනිසුන්ට පමණක් නො ව, තිරිසන් සතුන්ට ගහ-කොළට, මෙන් ම සමස්ත පරිසරයට ද උන් වහන්සේගේ කරුණා ඇස යොමු කළ සේක.

බුද්ධත්වය උදෙසා උන් වහන්සේ සසරෙහි නොකළ පරිත්‍යාගයක් නැත. ‘සිවිරාජ’ ජාතකයෙහි සඳහන් පරිදි උන් වහන්සේ දෙනෙත් දන් දුන් සේක; වෙස්සන්තර ජාතකයෙහි සඳහන් පරිදි දෙදරුවන්, පි‍්‍රය බිරිය ඇතුළු සියලු වස්තුව දන් දුන් සේක. සියලු සැප-සම්පත් සහිත රාජ්‍යයත්, එක ම පුතණුවනුත්, බිරියත් අත්හැර උන් වහන්සේ සත්‍ය සොයා නික්මුණේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් සියලු සත්ත්වයන් දුකින් මුදාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. උන් වහන්සේ සිංහ රාජයකු මෙන් කිසිවකුටත් බිය නො වූ හ. “සීහෝති අනුපාදානෝ පහීණභයභේරවා” (සුත්නිපාතය). ආලවක, සුචිරෝම, ඛරරෝම වැනි දරුණු යක්ෂයෝ ද චූලෝදර, මහෝදර, අග්ගිසිඛ, ධූමසිඛ, මුචලින්ද වැනි නාගරාජයෝ ද සච්චක වැනි වාදීභසිංහයෝ ද, අම්භට්ඨ වැනි මාණවකයෝ ද, පොක්ඛරසාති, සෝණදණ්ඩ, කූටදන්ත, කසීභාරද්වාජ වැනි මාන්නාධික බ්‍රාහ්මණයෝ ද, නාලාගිරි වැනි හස්තිරාජයෝ ද, බුදුහිමියන්ගේ නිර්භීත භාවය ඉදිරියෙහි දණ නැමූ හ.

බුදුහිමියෝ අනුපමේය රූප සම්පත්තියකින් යුක්ත වූ හ. දෙතිස් මහා පුරිස ලක්ෂණයෙන් හා අසූවක් අනුව්‍යංජනයෙන් සමන්විත උන් වහන්සේ දුටු ඇතැම් දෙනා වශීකෘත වූ හ. මේ කරුණු කිසාගෝතමීය, උපක ආජීවක, මගධ රට වැසි ජනතාව, වක්කලී මාණවකයා, මාගන්ධී බැමිණිය, සේල බමුණා ආදීන් විසින් කරන ලද ප්‍රකාශවලින් මැනැවින් පැහැදිලි වෙයි. බුද්ධ ප්‍රතිමාව දුටුවන් නෙත් සිත් පහන් කරයි. එහි ඇති අපූරු නික්ලේශී, ශාන්ත සංයමය අන් කිසි ම ප්‍රතිමාවකින් අත්විඳිය නොහැකි ය. මහා කවි ‘බර්නාඩ් ෂෝ’ ඉන්දියාවේ ‘ජවහර්ලාල් නේරු’ තුමන් ආදීන් තම කාමරයෙහි බුදු රුවක් තබාගෙන සිටියේ ඔවුන් බෞද්ධයන් නොවුව ද අපරිමිත කරුණා මෛත්‍රී නික්ලේශී ගුණයන් එය තුළින් විද්‍යමාන වන නිසා ම ය. මේ හැම කරුණකින් ම පැහැදිලි වන්නේ බුදු හිමියන්ගේ අපරිමිත ගුණස්කන්ධය යි.

About dahamsabawa

✿.•*¨*✿✿.•*¨*✿✿.•*¨*✿✿.•*¨*✿✿.•*¨*✿ ධර්ම දානය පිණිසයි දහම් සභා මණ්ඩපය LIKE US ➨ http://www.facebook.com/dahampg ➨ https://www.facebook.com/daham.sabawa ➨ https://www.facebook.com/groups/Daham ➨ https://twitter.com/dahamsabawa ➨ daham.sabawa@gmail.com ➨ https://dahamsabava.wordpress.com ➲ LIKE IT ➲ SHARE IT ➲ USE IT ➲ LIVE IT
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a comment