මම ආනන්ද වෙමි

4422389957_d761f31cf7සැඳෑ කාලය උදා වෙමින් එයි. මම සැවැත් නුවර දෙව්රම් වෙහෙර පාමුල ඉඳගෙන සිටිමි. හාත්පස ඉතා නිහඬ බවක් උසුලයි. මා ඉදිරියේ ඇති ආනන්ද බෝධියේ පලා පැහැති පත්‍ර වෙනදා මෙන් නොසැලී සිටියි. කුමක් දෝ ඉසිලිය නොහැකි තරමේ ශෝකයකින් මුළු වනපෙත ම බර වී සිටින සෙයක් මට දැනේ.

එකල මම රජ කුමරකු ව සිටියෙමි. සමවයස් හි සිටි අප බොහෝ දෙනෙක් ශාක්‍යපුර නන් පියුමින් සැදුණු පොකුණුවලින් හා අනේක සුපුෂ්පිත තුරුලතාවන්ගෙන් පිරී ගිය වන ළහැබට වැද නිරන්තරයෙන් කෙළිදෙළෙන් පසු වීමු.

එම දහසක් කුමරුවන් අතර සිටි මම නමින් ‘ආනන්ද’ වූයෙමි; සුද්ධෝදන රජුගේ සොහොයුරු අමිතෝදන රජුගේ පුත් කුමරා වූයෙමි. අපේ රජ මැඳුරු සියල් සම්පත්වලින් පිරී පැවැත්තේ ය. අප ලැබූ සතුටෙහි කෙළවරක් ඇති බවක් අපට හැඟී ගියේ නැත.

එහෙත් ඇතැම් අවස්ථාවල මිනිසුන් විදිනා දුක්-වේදනා, ලෙඩ-දුක්, ජරාවට පත් වීම හා මරණය ගැන සිතන්නට පුරුදු වීමි. මේවායේ කෙළවරක් නැති බැව් දැනී මගේ සිත සසල වී ගියේ ය. මේ අදහස් මා තුළ ජනිත වීමට මුල් වූයේ සිදුහත් ය. සිදුහත් මගේ පියාගේ වැඩිමල් සොහොයුරාගේ පුතණුවෝ ය.

සිදුහත් කයින් අප අතර සිටිය ද ඔහු බොහෝ විට සිතින් සිටින්නේ වෙනත් ලොවක බව මට හැඟී ගිය වාර එකක් දෙකක් නො වී ය. බෙහෙවින් කඩවසම් සිරුරක් හා පි‍්‍රයමනාප වුවනතක් ඇති සිදුහත් අපට වඩා හැම අතින් ම වෙනස් වූයේ ය. ඔහු දඩයම් කිරීම පිළිකුල් කළේ ය. නාටිකාංගනාවන්ගේ ඇසුර දෙස බැලුවේ කලකිරීම සහිත වූ දෑසකිනි.

“මලණුවනි, මේක කවදා හරි නවත්වන්නට ඕනැ,” දිනක් ඔහු මා දෙස බලමින් කීවේ ය. “කුමක් ද ඔබ කියන්නේ? කුමක් ද නවත්වන්නට ඕනෑ?” “මේ දුක! සියලු – දුක්-වේදනාවන් නවත්වන්න ඕනෑ.” “ඒක කරන්නෙ කොහොම ද?” ඔහු මා දෙස බලා සිනා සුණේ ය. අනතුරු ව බැරෑරුම් ලෙස මෙසේ කීවේ ය: “ආනන්ද, මේ සියලු දුක් කරදර ඇති වන්නේ අපේ සිතටත් ගතටත් නේ? අපේ සිතත් ගතත් නැති නම් ඒවා නතර වේවි නේ!”

මම එදා මවිතයෙන් ඔහු දෙස බලා සිටි හැටි මට තාම මතක ය. ඉන් පසු ඔහු නැවත මා තවත් පුදුමයට පත් කරවමින් කීවේ ඔහු විසින් පසු කලෙක ඉටු කළ යුතු ක්‍රියා මාර්ගය පිළිබඳ ඉඟියකි. “ආනන්ද! නැවත ඉපදීම නතර කරන්න ඕනෑ.”

සිදුහත් තම අරමුණ වෙත පැමිණියේ ඒ අන්දමිනි. සුදොවුන් රජු, ප්‍රජාපතී දේවිය, යසෝදරා ආදි මේ සියල්ලෝ ම සිදුහත්ගේ මේ වෙනස් වීම දැන සිටියෝ ය. එහෙත් යසෝදරා හැර අන් අය මවා පෙන්නුවේ කිසිත් නොදන්නා විලාසයකි.

සියල්ලන් නොසිතූ ලෙසින් එක් සඳපහන් රැයක සිදුහත් මාළිගාව හැර ගියේ ය. අපි සියලු දෙනා ම පිළිසරණක් නැති වූ නියායෙන් වික්‍ෂිප්ත ව ගියෙමු. මාළිගයෙන් පලා ගිය සිදුහත් නේරංජරා ගඟ අසබඩ වනයේ තවුස් දම් රකින බව ප්‍රකට විය.

එයින් වසර කීපයකට පසු එක් පුණ්‍යවන්ත දිනයක අලුයම ලොව අන් සියල්ලන් නිදි සුව විඳිද්දී ලොව ඇති බැමි කඩා සුන් කොට ලොව විශිෂ්ට ම කරුණාවන්ත හා ප්‍රඥාවන්ත මිනිසා බවට ඔහු පත් විය. මෙලොව ඇති වීම හා නැති වීමත් එහි පැවැත්මත් එයට හේතුවත් එය නැති කිරීමේ මඟත් අතැඹුලක් සේ පිරිසිඳ දැනගත් හෙතෙම ලොවුතුරා බුද්ධ නමින් ප්‍රකට විය.

මා යළිත් සිදුහත් හෙවත් සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ වෙතට පැමිණියේ ද අහඹු සිදුවීමක් ලෙසිනි. එය සිදු වූයේ මගේ දෙටු පියා වන සුදොවුන් රජතුමාගේ අණක් නිසා ය. අප ශාක්‍ය කුල පවුල්වලින් එක් කුමරුවකු බැගින් එතුමා ළඟ පැවිදි විය යුතු ය යි ඔහු නියෝග කළේ ය. ඒ අනුව මම ද එහි ගොස් ඔවුන් ළඟ පැවිදි වීමි; අනතුරු ව කල් යෑමෙන් ඔවුන්ගේ ප්‍රධාන උපස්ථායක තනතුරු ලැබීමි.

උපරිමයෙන් ශාන්තිවාදී වූ මාගේ ස්වාමිදරුවන් වහන්සේට මිතුරු වූ පිරිස් මෙන් ම සතුරු වූ පිරිස් ද වූ බව කිව යුතු ය. එකල ඉන්දියාවේ බරණැස බිහාර් හා අනෙකුත් ජනපදවල සිටි මහාරාජා හා ප්‍රාදේ්ශික රදලයන් ද දේවවාදි බමුණන් ද උන් වහන්සේට විරුද්ධ ව රොද බැඳගත්හ. රජ පෙළපතකට සම්බන්ධ බැවිනුත් නිරන්තරයෙන් කොසොල් බිම්බිසාර රජුන්ගේ රාජ අනුග්‍රහය ලැබුණු බැවිනුත් සතුරාට උන් වහන්සේට එරෙහි ව කටයුතු කරන්නට තිබූ ඉඩ වැළකිණ.

මා සමග පැමිණි උපාලි කුලීනයකු නොවුව ද මාගේ ස්වාමිදරුවන් වහන්සේ ඒ කිසිත් නොසලකා ඔහුට තම ශාසනයේ පැවිදි බව දුන්හ. උන් වහන්සේ කුලය අලුයම ලූ කෙළ පිඩක් සේ මායිම් නොකොට අනුපිළිවෙළින් පිඬුසිඟා යමින් කුලහීනයන් හා කුලීනයන් සම කොට සැලකූ හ. ලජ්ජාව ඉවසාගත නොහැකි ව තමා පසුපස ලුහුබදිමින් පැමිණ තම වංශයේ ගෞරවය නොකෙලෙසන ලෙස පැවසූ පිය මහ රජුට උන් වහන්සේ කීවේ “මහරජ, මේ බුදුවරුන් වන තමන්ගේ වංශයේ සිරිත යි” කියා ය.

වරක් තමා හමුවට පැමිණි අශ්වයන් මෙල්ල කරන්නකු වූ අශ්වධම්මසාරතීට උන් වහන්සේ කීවේ “තමා පුරුෂධම්මසාරතී” බව ය. වචනයෙන් පමණක් නො ව, ක්‍රියාවෙන් ද එසේ ම වූ හ. මානයෙන් පිරී ගිය ප්‍රදේශාධිපතියකු වූ ආලවක ඔවුන් ඉදිරියේ ළදරුවකු බවට පත් විය. “මහණ, ඔහි සිටුව!” හඬ නඟමින් අසිපත අමෝරාගෙන පසුපස ලුහුබඳීමින් පැමිණි අංගුලිමාල නම් ඝාතකයාට උන් වහන්සේ කීවේ “මම නැවතී සිටිමි. නුඹ ද නවතින්න” යන්න පමණි.

මරණය හා ජීවිතය පිළිබඳ නිසි අවබෝධයෙන් තොර ව දරු සෙනෙහසින් උමතු වූ කිසාගෝතමීට බුදුන් වහන්සේ කීවේ කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් ගෙන එන ලෙස ය. තම මිනිපිරිය මළ සොවින් තැවෙන උද්දරිකා බිසවගෙන් ඇසුවේ “උපාසිකාවෙනි, නුඹේ මිනිපිරිය මේ පුර සොහොන් බිමේ සහස් වාරයකට වඩා වළලා ඇති බැවින් ඉන් කවර මිනිපිරියක උදෙසා වැලපෙන්නේ දැ?” යි කියාය.

මේ වූකලි ක්‍රියාවෙන් අවබෝධය දුන් උපදේශ විය.

එක් දිනක් එක්තරා බිහිසුණු දෙයක් සිදු වූයේ ය. ඒ නාලාගිරි ඇතු උන් වහන්සේ ඉදිරියට පැමිණි දා ය. රා පොවා මත් කරන ලද ඇතු සොඬ ඉහළ නඟා යදම් බිඳ ලමින් දුටු-දුටුවන් බිය ගන්වමින් එක්පැහැර දිව ආයේ ය. බුදුන් හා ඇතු අතර දමන ලද කුඩා බිලිඳකු දැක ඔහු දෙසට හැරුණේ ය. මම ඉහළට ගත් හුස්ම පහළට හෙළාගත නුහුණු ව සිටියෙමි. ‘මා ජීවත් ව සිටිය දී මාගේ ස්වාමිදරුවන්ගේ රෝම කූපයකට ද හිංසාවක් විය නොදෙමි’ යි සිතා මම වහා බුදුන් පසු කොට ‘මේ ඇත් රජුට පළමු කොට මගේ ජීවිතය දෙමි’ යි සිතා පෙරමගට වන්නෙමි. එහෙත් මාගේ ස්වාමිදරුවාණෝ “ආනන්ද, බුදු කෙනකුගේ බලය නොදනිත් දැ?” යි කියමින් මා පසුපසට ම යැවූ හ. දෙවැනි වරටත් තෙවැනි වරටත් ඉවසා සිටිය නොහැකිව, එසේ ම කළෙමි.

එහෙත් බුදුහු මා පසුපසට ම යැවූ හ; අනතුරු ව දරුවා වෙත දිව යන ඇත්රජු අමතා, “ඇත් රජුනි, සිහි එළවව! තෙල ළදරුවා වෙත යෑම තොපට තරම් නොවේ. උන් හැරපියා මා වෙත ම එව” යි මධුරස්වර විහිදා සිංහ නාද කළෝ ය. මේ අභීත අමා දහරක් වැනි හඬ ඇසූ ඇත්රජු මොහොතක් සිටිවන ම නැවතී බලා සිටියේ ය. එවේලේ අපි සියලු දෙනා ම ගල් ගැසී සිටියෙමු. අනතුරු ව සිදු වූයේ කිසිදාක සිදු නොවිය හැකි දෙයකි. සුපුරුදු ගමනින් මාගේ ස්වාමිදරුවන් වෙත පැමිණි ඇත්රජු බිම දණ නමා තම සොඬය බුදු සිරි පා පියුම් මත තැබී ය.

මේ නම් ආශ්චර්යක් ම වූයේ ය. මාගේ ස්වාමිදරුවන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරා පුරන ලද පාරමිතා අනුහසින් හා පතළා වූ මහා කරුණා ගුණ බලයෙන් ඔවුන්ගේ රෝම කූපයකට තරම් අනතුරක් කළ නොහැක්කේ විය.

දිනක් එක් මහ රැයක මෙබන්දක් සිදු විය. “ආනන්ද. මා සමඟ එන්න” එදින රෑ උන් වහන්සේ මට කතා කළහ. “ස්වාමීනි, මේ නොකල්හි! රාත්‍රි කාලයෙහි?” මුවින් නොබැණ ම වැඩි උන් වහන්සේ දිගට ම ගියේ අමු සොහොනට ය. එහි වූයේ සිත් කම්පා කරවන දැකුමකි. ඉදිමී නරක් වී තිබුණු මළ සිරුරකට බැඳී දරුවෙක් හඬමින් සිටියේ ය. බුදුහු පහතට නැමී දරුවාගේ බැමි ලිහූ හ; ආරාමයට රැගෙන ගිය දරුවා ස්නානය කරවා පසුදා පැවිදි කළහ. හේ පසු කලක සෝපාක නමින් ප්‍රකට විය.

එය ජීවිතය අලුතින් පොතක ලිව්වා හා සමාන විය.

සිරුර පුරා වණ සෑදී ගිලන් ව ජරාවට පත් ව සිටි තිස්ස තෙරුන් වෙත ගිය උන් වහන්සේ උණු පැන් ගෙන්වාගෙන ඔහු සෝදා, බෙහෙත් ගල්වා සාත්තු කළේ ද එසේ ම ය. ‘ආනන්ද, ගිලනුන් නොසලකා යමකු මා සරණ යන්නේ කෙසේ ද? එය එසේ විය නොහැකි ය. සැබැවින් ම ගිලනුන්ට කරන උපස්ථානය මට කරන උපස්ථානයක් ම වන්නේ ය” යි උන් වහන්සේ කීවේ එදා ය.

දිනක් අපි කෙතක් මැදින් ගමන් කරමින් සිටියෙමු. එතැන සිටි ගොවියෙක් අප දැක වහා අවුත් වැඳ නමස්කාර කළේ ය. ඔහු පසු කර ගිය උන් වහන්සේ මඳක් නැවතී මා දෙස බලා මෙසේ ඇසූ හ: “ආනන්ද, සර්පයා දුටුවෙහි ද?”

මම අන්ද-මන්ද වීමි. වට-පිට බැලුව ද මා දුටු සර්පයෙක් නැත. එහෙත් ගොයම් අතරේ දිලිසෙන කිසිවක් විය. මම පරීක්‍ෂාකාරී ව බැලීමි. ඒ රන් පියල්ලකි. එය මාළිගයෙන් සොරකම් කොට ගෙන යද්දී සොරුන් ප්‍රමාදයකින් දමා ගිය එකක් විය. සොරුන් සොයා ආ රාජ පුරුෂයෝ ගොවියා පිටිතල හයා බැඳ රජු වෙත ගෙන ගියහ. රජ අණින් වධයට ගෙන යද්දී ගොවියා කීවේ “ආනන්ද, සර්පයා දුටු දැ?” යි යන්න ය. අවසන ගොවියා ජීවිතය ලද්දේ මාගේ ස්වාමිදරුවන් නිසා ය.

ඇතැම් අවස්්ථාවල උන් වහන්සේ ගත් ක්‍රියාමාර්ග විස්මය දනවනසුලු විය. මග දී මහාවීර ශාස්තෘවරයා සමච්චලයට ලක් කරමින් උගුර හැඬවූ එක්තරා භික්ෂුවකට වහා ගොස් සමාව ගන්නා ලෙස බුදුහිමියෝ කී හ.

පිඬු සිඟා යද්දී දරුවකු වඩාගත් මවක් බුදුන් ඉදිරියට පැමිණ තම සැමියා තමාට හා දරුවාට නොසලකා පලා අවුත් පැවිදි වී ඇතැයි කියමින් සඟුන් අතරේ මුවා වී සිටි භික්‍ෂුව පෙන්වූවා ය. බුදුන්වහන්සේ වහා ඔහු කැඳවා, ‘තම පවුලට යුතුකම් ඉටු කොට පැමිණෙන්න’ යි කියා උපැවිදි කොට යැවූ හ.

බුදුන්ගේ ධර්මය හා බුදුන් එකල ඇතැමුන්ට හරිහැටි වටහාගත නොහැකි වීම මගේ කණස්සල්ලට හේතු වී තිබූ බව කිව යුතු ය. බොහෝ අය උන් වහන්සේ දෙවියකු ය යි සිතූ හ. ඇතැමෙක් විෂ්ණුගේ අවතාරය ය යි කී හ. එහෙත් ඒ සියල්ල නිවැරැදි නො වී ය. එතුමෝ අප වැනි සාමාන්‍ය මනුෂ්‍යයෙක් ම වූ හ.

දිනක් අසුපිට නැගී හිමිදිරි උදයේ රාජ සේවයට යමින් සිටි යුවරජු වන මැද ගසක් යට තිබුණු පොදියක් දැක විපරම් කොට බැලී ය. සීතල මහ රෑ ගසක් යට ගත කළ බුදුන් දුටු ඔහු අසු පිටින් බැස දණ නමා වැන්දේ ය. උන් වහන්සේ කීවේ බුදුවරුන්ට ගස යට සුව එළවන බව යි.

පළමු වරට බුදුන් දැකීමට පැමිණි සුදත්ත සිටුවරයා (අනේපිඬු සිටුවරයා) බොහෝ වේලා රැඳී සිට ඈතින් එන භික්‍ෂු රුවක් දුටුවේ ය. දූවිල්ලෙන් වැසී ගිය සිරුරු හා සිවුරු ඇති ව දහඩිය වැකුණු වතින් යුතු ව පා ගමනින් ඇවිද ආ ඒ රුව මාගේ ස්වාමිදරුවන්ගේ මිස අන් කෙනකුගේ නො වී ය. එදා සුදත්ත සිටුවරයා විස්මයෙන් ඇලළී බලා සිටියේ බුදු රුව තුළ සිටි සැබෑ මිනිස් රුව දෙස ය.

කල් ඉක්ම යත් ම සාමාන්‍ය මනුෂ්‍යයකුට උරුම වූ ජරාව උන් වහන්සේ වෙත ද පැමිණියේ ය. සිරුර බොහෝ අබල-දුබල විය. අසූ වසරක ඒ ස්වර්ණමය ජීවිතයේ අවසානය ළඟා විය.

එදින අපි ධර්ම චාරිකාවක නිරත ව සිටියෙමු. රජගහ නුවරින් පටන්ගෙන ගම්-නියම්ගම් පසු කොට වේළුව ගමට පැමිණියෙමු. එතැන දී උන් වහන්සේට උග්‍ර පිපාසයක් ඇති විය. බුදුහු මට කතා කොට මෙසේ කී හ: “ආනන්ද, ක්ලාන්ත වූ ස්වභාව ඇත්තෙමි. මගේ සඟළ සිවුර හතරට නමා එළන්න. මම මඳක් ඇල වී සිටිනු කැමැත්තෙමි. ආනන්ද පිපාසිතයෙමි. පැන් ගෙනෙන්න.”

“ආනන්ද, මම දැන් පිරුණු වෘද්ධ මහලු ව බොහෝ කල් ඉක්මවූවෙක්මි. මගේ වයස අසූවක් පමණ වේ. ආනන්ද, යම් සේ දිරා ගිය රථයක් ප්‍රතිසංස්කරණයෙන් පවතී ද එසේ ම තථාගත කය ද පවතී” යනුවෙන් උන් වහන්සේ මට පවසද්දී මම උහුලාගත නොහෙන සොවින් හඬ නොනැගෙන සේ වැලපුණෙමි.

අනතුරු ව බුදුන් වහන්සේ හිරණ්‍යවතී ගඟෙන් එතෙර වී කුසිනාරාවේ මල්ල රජුන්ගේ උපවත්තන සල් උයනට වැඩි සේක. සල් ගස් දෙකක් පෙන්නා එම ගස් දෙක අතරේ සයනයක් පිළියෙල කරන්නැ යි මට කී හ. ඉන් පසු උන් වහන්සේ සයනෙහි වැතිරුණහ.

එකෙණෙහි ම අරුම-පුදුම දේ රැසක් සිදු විය. සල් ගස් දෙක සැලී තම පුෂ්පයන් ඒ අවට විසුරුවා පී ය. අහස් කුස අඳුරු විය. මල් පර වී වැටිණ. සියොත්හු සියලු ගී නැවතූ හ. මුළු ලොව ම මොහොතකට නැවතුණාක් මෙන් විය. ජීවිතය පුරා ගස්-වැල්, සතා-සීපාවාට හිතවත් වූ මේ උතුමාට උන් ද කළගුණ දක්වන්නාක් මෙනි. බුදුන් වහන්සේ තරම් පරිසරයට සමීප වූ, එහි සොඳුරු බව විඳගත් අන් කෙනෙක් නැත. ගසක් යට ඉපදී, ගසක් යට බුදු වී, දැන් ගසක් යට දී ම මෙලොව හැර යෑමට සූදානම් ව සිටිති. මාගේ ස්වාමිදරුවන් වහන්සේ නිහඬ ව ධ්‍යානයකට සමවැදී සිටින ලෙසක් පෙනිණ. ඉන් පසු කිසිවක් කතා කළේ නැත.

හදිසියේ ම අඳුර දැඩි වී මහ පොළොව සත් යළක් ගුගුරා සැලී ගියේ ය. අනතුරු ව පොළොව හඬන්නට වන. පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝ සත වෙත සරණ වූ ඒ මහා පුරුෂෝත්තමයා පහනක් නිවුණා සෙයින් නිවී ගියේ ය.

* * * *

පසු සටහන: ආනන්ද තෙරුන් වහන්සේ ඉන් තෙමසක් ඉකුත් වන දිනයක්හි සියලු ආශ්‍රවයන් නසා රහත් භාවයට පත් වූ හ. කල් ඇවෑමෙන් සූවිසි සියවසක් ආයු වලඳා පිරිනිවන් පෑ හ.

About dahamsabawa

✿.•*¨*✿✿.•*¨*✿✿.•*¨*✿✿.•*¨*✿✿.•*¨*✿ ධර්ම දානය පිණිසයි දහම් සභා මණ්ඩපය LIKE US ➨ http://www.facebook.com/dahampg ➨ https://www.facebook.com/daham.sabawa ➨ https://www.facebook.com/groups/Daham ➨ https://twitter.com/dahamsabawa ➨ daham.sabawa@gmail.com ➨ https://dahamsabava.wordpress.com ➲ LIKE IT ➲ SHARE IT ➲ USE IT ➲ LIVE IT
This entry was posted in Uncategorized and tagged . Bookmark the permalink.

Leave a comment